
” පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය” වන අපගේ මාතෘ භූමියට සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක් කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමෙහිලා මහත්වූ වෙහෙසක් දැරූ විදේශිකයන් අතරින් ප්‍රමුඛස්ථානය ලැබෙනුයේ ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමියන්ටය.
සිංහලයකු නොවූවද ලක්බිමෙහි නොඉපදුණ සිංහල ජාතිය ගැන බුදුදහම පිළිබඳව නිරතුරුව ජාතික කැක්කුමකින් ක්‍රියා කළ මහින්ද හිමියෝ සිය කවීත්වය උපයෝගි කරගෙන නිදා සිටි සිංහලයන් අවදි කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූහ.
එස්. කේ. ටෂිනම්ගල් කුමරු හිමාලය කඳුවැටිය අසල ටිබැට් ප්‍රදේශයට යාබද සිකීම් නුවරදී උපත ලබන්නේ 1901 වසරේදීය. උපතින් වසර 13 කට පසුව එනම් 1914 දී ටෂිනම්ගල් කුමරු ජර්මන් ජාතික හිමිනමක් සමග ලක්දිවට පැමිණ මහාබෝධි සමාගමට අයත් විද්‍යාලයකට ඇතුළුවී ඉගෙනීමෙහි සහජ දක්ෂතා දක්වමින් අධ්‍යයන කටයුතුවල නිරත විය.
ඒ අතරතුරදී අලුත්ගම සීලක්ඛන්ධ නාහිමියන්ගෙන් සංස්කෘත සිංහල, පාලි, බුද්ධාගම ආදී සියලු ශාස්ත්‍රයන් මැනවින් ප්‍රගුණ කරමින් ව්‍යක්ත ධර්ම දේශකයන් වහන්සේ නමක් වූයේ සාමණේර අවධියේදීමය. පසුව දොඩන්දූව ශෛලබිම්බාරාමයේ සිට රත්මලානට පැමිණ රත්මලාන පුරාණ රජමහා විහාරාධිපතිව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන්ගේ ශිෂ්‍යයකුව මහණ උපසම්පදාව ලබාගෙන ශ්‍රී ධර්මාරාම පිරිවෙනට ඇතුළු වී ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම යන විභාග වලින් උසස් ලෙස සමත් විය. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ධුරයකට පත්වන්නේ ඉන් අනතුරුවය.