
අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම හිමි චරිතාපදානය (Most Venerable Mathara Sri Gnarama Thero’s character )
අතිපුජ්‍ය මහෝත්තම ඥාණාරාම ලොකු ස්වාමින් වහන්සේ උපත ලද්දේ මාතර දිස්ත්රික්කයේ තිහගොඩට නුදුරු (දැනට “උඩුව” ලෙස හැදින්වෙන) බජ්ජිම ගම්මානයේ 1901 වසරේ දෙසැම්බර් 11 දාය. පියා එම ගමේ ගම මුලාදෑනි ආරච්චිල වූ දැද්දුවේ දොන් බැස්ටියන් ජයතුංග මහත්මාය. උන්වහන්සේගේ ගිහි නම දොන් ඩයස් ජයතුංග විය. පවුලේ බාලයා ලෙස උපන් මේ දරුවා සාසනයට පුජා කරන්නට එම පවුලේ ගිහි ඥාතිත්වයක් ඇතිව සිටි, අලියාතොල්ල පන්සලේ විමලජෝති හාමුදුරුවන් කල ඉල්ලීම දෙමව්පියන් පිළිගත්හ. ඒ අනුව ජයතුංග දරුවා ට සත් විය පිරුන පසු 1908 වසරේදී පමණ දරුවා, විමලජෝති ස්වාමින්වහන්සේට භාර දෙනු ලැබීය. පංසලේ චාරිත්‍ර වාරිත්‍ර කලක් ඉගැනීමෙන් පසු 1917 දෙසැම්බර් මස දිනෙක, දෙවගොඩ ශ්‍රී විජයාරාමාධිපති රාමන්ඥ නිකායේ ප්‍රථම ලේඛකාධිකාරී, පුජ්‍ය මාතලේ අග්ගධම්මාලන්කාර ස්වාමින්වහන්සේගේ අධීක්ෂන්ත්වයෙන්, මාතර ඥානාරාම නමින් සසුන් ගත කරන ලදී.
ගුණ නැන දෙකින් කෙමෙන් වැඩෙමින් පැවිදි දිවියේ මුල් කාලය ගෙවූ, මේ තුරුණු ස්වාමින්වහන්සේ 1922 ජුලි 10 වැනිදා ශාස්තවෙල්ලියේ උපසේන මාහිමියන්ගේ ආචාර්යත්වය යටතේ උතුම්වූ උපසම්පදාවෙහි පිහිටවූ සේක. ශීලාදී ගුනස්කන්ධයකින් හා මහත් ඥාණ සම්භාරයකින් පොහොසත්වීමේ දැඩි අදිෂ්ටානයක් උන්වහන්සේ තුල විය. ඒ විපුල වූ ඵලය සදහා අල්පවුද සැපයක් ඇත හැරීමේ ගුණය උන්වහන්සේට පිහිටියේය. මුළු රෑ නොනිදා පොල්තෙල් පහනක එළියෙන් ත්‍රිපිටක පොත් හැදෑරීම නිතොර සිදුවුණි.
මත්තා සුඛ පරිච්චාගා
පස්සේ වේ විපුලන් සුඛං
වජේ මත්තා සුඛං ධීරෝ
සම්පස්සන් විපුලන් සුඛං ( ධම්මපදය- පකින්නක වග්ගය)
අල්ප මාත්‍රවූ සැපයක් අතහැරීමෙන් මහත්වූ සැපයක් ලද හැකිබව පෙනෙයි නම්, මහත්වූ සපයා ගැන බලමින් නුවනැත්තා අල්පවූ සැප අත් හරින්නේය..