Skip to main content
Category

ඉපැරණි ග්‍රන්ථ (Old Books)

සද්ධර්මාලංකාරය … (Saddharmalankaraya.)

By ඉපැරණි ග්‍රන්ථ (Old Books)

පොළොන්නරු සමයේ වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින් පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. කුරුණෑගල සමය වනවිට පන්සිය පනස් ජාතකය ද සම්පූර්ණයෙන් සිංහලට නැගී තිබීම නිසා තවත් විවිධ කෘති උදෙසා පඬිවරු උත්සුක වී ඇත්තාහ. ඊට නිදසුනක් සේ දැකිය හැකි සද්ධර්මාලංකාරය කථා පුවත් රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.

සද්ධර්මාලංකාරය ලියැවුණේ නිකාය සංග්‍රහය බලාවතාර සන්නය ආදි වූ කෘතිවලට පසු ව බව ග්‍රන්ථාවසනයේ එන ගාථාවලින් පැහැදිලිවේ. තව ද ඒ වනවිට මේ හිමිපාණන් සංඝරාජ පදවියට පත් ව සිටි වග එකී ගාථාවල එන ‘යො ධම්මකිත්තිරිත සංඝරාජෝ…’ යන්නෙන් පැහැදිලි වේ. එබැවින් මේ කෘතිය ගම්පොළ රාජධානි සමයේ අවසන් කාලයේ දී පමණ ලියැවුණු බව තහවුරු වේ.

මේ පොත රචනා වූයේ ප්‍රියදර්ශී නම් හිමිපාණ කෙනෙකුන්ගේ ආරාධනයෙන් වග පළමු පරිච්ඡේදය අවසානයේ එන ‘…ප්‍රිය සබ්‍රහ්මචාරි වූ ප්‍රියදර්ශි නම් බුද්ධ පුත්‍රයාණන් විසින් කරන ලද ආරාධනාව හා… සාධු ජනයන්ගේ සිත් පහදවා ශුද්ධ බුද්ධි වර්ධනය කෙරෙමින් ඔවුන්ට ත්‍රිවිධ සම්පත් සාධා දෙන පිණිස …” ආදි තොරතුරුවලින් පැවැසේ. තව ද තුන් වැනි පරිච්ඡේදය අවසානයේ ‘… මම ද මතු ලොවුතුරා බුදු ව … සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් මාර්ගඵලයට පමුණුවා ඔවුන් හා සමඟ අතිශාන්ත වූ අමා මහ නිවන්පුර පැමිණෙව්වා” යැයි ප්‍රාර්ථනය කෙරේ. මේ අනුව ප්‍රියදර්ශී හිමියන්ගේ ආරාධනය මේ කෘතිය සඳහා බාහිර නිමිත්ත වූවා පමණක් නො ව කතු හිමියන්ගේ අභිප්‍රායය අභ්‍යන්තර නිමිත්ත වූ බැව් පැහැදිලි වේ. – ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ

සද්ධර්මාලංකාරය භාගත කරගන්න