අනාගතවංශ දේශනාව ( Anagatawamsa Deshanawa ) - IFBC Organization | Download

කුරුණෑගල සමයේ දී ලියැවුණු තවත් සිංහල වංශ කථා සාහිත්‍ය කෘතියක් නම් අනාගත වංශය යි. මෙය හැඳින් වී ඇත්තේ ‘මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංශ ධර්ම ප්‍රබන්ධය’ යනුවෙනි. ඒ අනුව මේ කෘතිය මතු බුදු වන මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය වර්ණනා කිරීම අරමුණ කොට ගත් ප්‍රබන්ධයකි. මේ සඳහා පදනම් වී ඇත්තේ අනාගත වංශ දේශනාව යි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධ වංශ දේශනාව අවසානයෙහි අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර මහතෙරුන් වහන්සේගේ ආරාධනය පරිදි අනාගත වංශ දේශනාව වදාළහ.

බුද්ධ භාෂිතය දැක්වෙන අනාගත වංශ පාළිය නම් වූ ඉපැරණි කෘතියක් තිබූ බවත් එකී කෘතියට අට්ඨ කථාවක් ලෙසින් සමන්ත භද්දිකා නම් වූ අනාගතවංශට්ඨ කථාව උපසේන නම් ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද බවත් අනාවරණය වේ. අනාගත වංශයට ආශ්‍රය වී ඇත්තේ එකී කෘතීහු වෙති. එහෙත් මෙය පාලි අට්ඨකථාවේ පදානුගත පරිවර්තනයක් ලෙසින් නො ව වෙනත් කෘතිවලින් ලද ආභාසය ද ස්වාධීන නිර්මාණ කෞෂල්‍යය ද උපයෝගී කොට ගත් ප්‍රබන්ධයක් ලෙසින් ලියැවී තිබේ.

අනාගතයෙහි පහළ වන්නා වූ මෛත්‍රෙය බුදු රදුන්ගේ බුදු සිරිත වර්ණනා වන බැවින් මේ නම මෙසේ යෙදී ඇති අතර මෙය කතුවරයාණන් විසින් ම කෘතියට යෙදු නම බැව් පැහැදිලි වේ. මේ කෘතියේ කතුවරයා, කාලය, අභිප්‍රායය ආදි වූ බොහෝ කරුණු ග්‍රන්ථාරම්භයේ සහ ග්‍රන්ථාවසානයේ එන තොරතුරුවලින් මැනැවින් පැවැසේ. ‘… දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු මහා රාජෝත්තමයාණන් වහන්සේ… අනාගතයෙහි ධර්ම දේශකයන්ගේ නො ලැබීමෙන් මෛත්‍රී සර්වඥයන් වහන්සේ දැක ලෞකික ලෝකෝත්තර සම්පත් සිද්ධ කරනු කැමැති සත්ත්වයන්ට හසරක් නො පෙනෙන්නේ යැයි සිතා කලියුගයෙහි නුවණ මඳ සත්ත්වයන්ගේ සුඛාවබෝධය පිණිස මේ අනාගතවංශ නම් වූ මහා ප්‍රබන්ධය ස්වකීය භාෂාවෙන් ලියවනු කැමැති සේක්… විල්ගම්මුළ නම් කනකගිරි ශිඛරයෙහි විජෘම්භමාන සිංහරාජයක්හු වැනි වූ මහා ස්ථවිරපාදයන් වහන්සේට ආරාධනා කළ සේක.’

මේ අනුව කුරුණෑගල රාජධානියෙහි විසූ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු හෙවත් සිංහල රාජාවලියේ සිව්වැනි පරාක්‍රමබාහු මහරජුගේ කාලයේ එතුමාගේ ආරාධනය පරිදි මේ අනාගතවංශය රචනා කෙරුණු බව මෙන් ම සිංහල බෝධිවංශය රචනා කළ විල්ගම්මුළ මාහිමිපාණන් විසින් මේ කෘතිය ද කරන ලද බව පැහැදිලි ය. උන් වහන්සේ මතු බුදු බව ප්‍රාර්ථනය කළ වග බෝධිවංශයේ මෙන් ම මෙහි ද පැවැසෙන්නේ ‘… මම මෛත්‍රී සර්වඥයන් වහන්සේ පිරිනිවන් පාන්නට පළමු කොට… මේ මහණ අනාගතයෙහි බුදු වන්නේ යයි විවරණ දෙන ලද්දෙම්…’ යනාදි වශයෙනි. එබැවින් මේ කෘතිය සඳහා රජතුමාගේ ආරාධනය බාහිර නිමිත්තක් වූවා සේම කතුවරයාණන්ගේ අධ්‍යාශය අභ්‍යන්තර නිමිත්තක් වූ වග ද වටහා ගත හැකි ය.

සිංහල බෝධිවංශය මෙන් අනාගතවංශය ද ඇරැඹෙන්නේ ප්‍රශ්න පහක් දක්වමින් ඒ ප්‍රශ්න විසර්ජනය කරන ආකාරයෙනි. ඒ මෙසේ ය: ‘මේ අනාගතවංශ දේශනාව කවරෙකු විසින් දෙසන ලද්දේ ද? කොතැන්හි දී දෙසන ලද්දේ ද? කවර කලෙක දෙසන ලද්දේ ද? කුමක් පිණිස දෙසන ලද්දේ ද? කවර කෙනෙකුන්ගේ ආරාධනයෙන් දෙසන ලද්දේ ද? යි යන මේ ප්‍රශ්නයන් පස් දෙනාගේ විසඳීම කොට වර්ණනා කටයුතු.’ මේ ප්‍රශ්න පහට පළමු ව කෙටි පිළිතුරු සපයමින් ද අනතුරු ව ඒ පිළිතුරු විග්‍රහ කරමින් ද එයින් පසු එකී තොරතුරු සවිස්තර ව වර්ණනා කරමින් ද කතුවරයාණෝ මේ කෘතියේ අන්තර්ගතය ක්‍රමික ව විකාශනය කරති.

එහි දී කල්ප විනාශය, බුද්ධකාරක ධර්ම, පාරමිතා, පාරමිතා ප්‍රභේද ආදි වශයෙන් විවිධ අනුබද්ධ කරුණු පහදා ලීමට අවකාශ සලසා ගනිමින් කෘතිය සරුසාර බවට පත් කොට ගෙන ප්‍රස්තුතය ප්‍රසාරණය කිරීමේ පිළිවෙතක් අනුගමනය කර තිබේ. ඒ අනුව පරිච්ඡේද වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ කොටස් කර දැක්වීමකින් තොර ව එක ම දීර්ඝ රචනාවක් ලෙසින් මේ විස්තර වර්ණනය ගලා ගෙන යන අයුරු දකින්නට පිළිවන.

අනාගතවංශයෙන් ප්‍රකාශ වන පරිදි මෛත්‍රෙය බුදුන් දවස වන විට බරණැස් නුවර ‘කේතුමතී’ නම් රාජධානිය ලෙස හැඳින්වෙයි. එවක මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු අසූදහසක් වන්නේ ය. මෛත්‍රෙය බෝසතාණෝ සව් සිරි පිරි කේතුමතී නුවර අජිත නම් බමුණු කුමරු ව ඉපිද අභිනිෂ්ක්‍රමණය කොට නාග ශ්‍රී බෝධි මූලයේ දී බුද්ධත්වය සාක්ෂාත් කරන සේක.

උන් වහන්සේගේ බුද්ධකාය අසූඅට රියන් පමණ උස් වන්නේ ය. අශෝක සහ බ්‍රහ්මදේව යන මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවකයෝ වෙති. සීහ නම් තෙරුන් වහන්සේ අග්‍ර උපස්ථායකයාණෝ වෙති. මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ බොහෝ ජන සමූහයා සසරින් එතෙර කොට අවුරුදු අසූදහසක් වූ පරාමායුෂ කෙළවර පිරිනිවන් පානා සේක. උන් වහන්සේගේ ශාසනය අවුරුදු එක්ලක්ෂ අසූදහසක් මුළුල්ලේ පැවැතී අන්තර්ධාන වන්නේ ය.

ග්‍රන්ථාවසනයෙහි දී මෛත්‍රෙය බුදුන් දැකිය නො හෙන අවාසනාවන්තයන් කවුරුන් ද යන්න සහ උන් වහන්සේ දැකීමේ වාසනා ගුණ ඇත්තන් පිළිබඳ ව පැවසෙනු අසන්නට හැකි ය. ‘… දුගී මගී සත්ත්වයන්ට හා මහණ බමුණන්ට දන් දුන්නෝ ඒ මෛත්‍රී සර්වඥයන් දකිත්ම ය. පන්සිල් රක්ෂා කළෝ දකිත් ම ය. පෙහෙවස් රක්ෂා කළොත් දකිත් ම ය. දාගැප් කරවූවෝ දකිත් ම ය. ඒදඬු ලැබූවෝ දකිති… අම්බලම් තැනවූවෝ දකිති. මං හෙළි කැරවූවෝ දකිති…’ ආදි වශයෙන් පැවසෙන පරිදි පින් දහම්හි හැසිරීම මෙන් ම පොදුජන යහපත උදෙසා ක්‍රියා කිරීම ද උත්තම බව අවධාරණය කරනු පෙනේ.

ඉහත වාක්‍ය කීපයෙන් වුව අනාගතවංශයේ භාෂා විලාසය කෙසේ දැයි වටහා ගන්නට පිළිවන. ඇතැම් තැන්හි කෙටි වාක්‍ය දකින්නට හැකි වුවත් සමහර තැන්වල අති දීර්ඝ වාක්‍ය තිබීම මේ කෘතියේ කැපී පෙනෙන්නකි. එබැවින් මෙහි භාෂා ශෛලියේ සමාන ස්වරූපයක් පළ නො වේ. ඒ ඒ අවස්ථාවන්ට වඩාත් උචිත සේ කතුවරයාණන් සැලකූ භාෂා රටාවන් මේ රචනයෙහි දී යෙදී ඇතැයි සිතිය හැකි ය.

පොදුවේ ගත් කල භාවිත භාෂාව සංස්කෘත සමාස පද හා තත්සම ශබ්ද බාහුල්‍යයෙන් යුක්ත ය. එබැවින් මේ කෘතිය ද ආසන්න කාලීන අනෙක් කෘති මෙන් ම එවක සකස් වෙමින් පැවැති සිංහල භාෂා විලාසය වේ යැයි පැවසෙන නිදර්ශනයකි. මෙහි ඇතැම් තැන්හි හෙළ මුහුණුවර ද මිශි‍්‍රත වූ භාෂා ව්‍යවහාරයක ලක්ෂණ පවතිනු දකින්නට පිළිවන:

මේ ඡේදයෙන් තත්කාලීන සමාජ තොරතුරු රැසක් ද ප්‍රකට වේ. ඒ අතුරෙහි සාමාන්‍ය ජනතාව එවක ගෙවල් දොරවල් තනා ගත් ආකාරය රැකියා කර්මාන්ත කළ හැටි, ආහාර පිළියෙළ කර ගත් අයුරු වැනි බොහෝ කරුණු වේ. මෙසේ සිද්ධි වර්ණනයේ දී මෙන් ම අවස්ථා නිරූපණයෙහි ද චරිත විග්‍රහයෙහි ද කතුවරයා එක් වන් සමත් බවක් ප්‍රකට කරනු දැකිය හැකි ය. එසේ ම උචිත පරිදි උපමා, අලංකාර ආදි වූ කාව්‍යමය ගුණාංග ද සම්ප්‍රයුක්ත කොට හරබර ධර්ම දේශනයක ස්වරූපය ගෙන හැර පානු පෙනේ.

‘මා කියන්නා වූ අනාගතවංශ දේශනාව සත්පුරුෂ වූ සියලු සත්ත්වයෙනි, කන් නම් සිත් යොමා සාවධාන ව අසවු!’ යනුවෙන් මෙහි පැවසෙන පරිදි ම මනා ව ශ්‍රවණය කොට අවබෝධ කොට ගත හැකි ලීලාවෙන් මෙය රචනා කිරීමට කතුවරයා වැර දර තිබේ. ග්‍රන්ථාවසානයෙහි ‘අර්ථ ව්‍යංජනයෙන් සම්පූර්ණ කොට කර්ණ රසායන කොට වර්ණනා කරන්නා වූ මා විසින්…’ යනුවෙන් දක්වන පරිදි ස්වකීය සාහිත්‍යමය නිර්මාණ කුසලතාව මගින් ඔපමට්ටම් කොට ‘පාළි පාඨයෙන් කිසිවකුත් නො පිරි හෙළා…’ කතුවරයා මේ කෘතිය නිමා කොට ඇත.

මෙයට පෙර දඹදෙණි සමයෙහි ලියැවුණු සද්ධර්ම රත්නාවලියෙහි ද අනාගතවංශ දේශනාව සැකෙවින් ලියැවී තිබෙනු දකින්නට පිළිවන. එබැවින් මෛත්‍රෙය බුදු රදුන් පිළිබඳ අවබෝධයක් එවක බෞද්ධයන්ට තිබෙන්නට ඇති බව නිසැක ය. එහෙත් මෛත්‍රෙය බුදුන් පිළිබඳ සවිස්තර වර්ණනයක් ප්‍රකට වන්නේ අනාගතවංශයෙනි.

එබැවින් මේ කෘතිය අගනා ධර්ම ශාස්ත්‍රීයමය සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් විශේෂ තැනක් හිමි කර ගන්නා ග්‍රන්ථයකි. මේ අනාගතවංශය පසුකාලීන ව බෙහෙවින් පරිශීලනය වූ ජනපි‍්‍රය පොතක් වූ බැව් පැහැදිලි ය. සද්ධර්මාලංකාරයෙහි පැවසෙන ‘… මෛත්‍රෙය බුදුන්ගේ බුද්ධශ්‍රීය ප්‍රකාශ කිරීම් වශයෙන් අප මහා ගෞතම බුදුරදුන් වදාරන ලද අනාගතවංශ දේශනාව ම ය. එබැවින් එහි විස්තර කථාව අනාගත වංශයෙන් ම දත යුතු’ යන පාඨය ඊට මනා නිදසුනකි.

උපුටාගැනීම – http://www.silumina.lk/punkalasa/20091011/_art.asp?fn=ar09101112

බාගතකර ගැනීම
IFBC Home Page