Monthly Archives

March 2015

බුත්සරණ (Buthsarana)

By | ඉපැරණි ග්‍රන්ථ (Old Books )

පැරණි සිංහල සාහිත්‍ය කෘති අතුරෙහි එන අගනා ගද්‍ය කාව්‍යයක් නම් බුත්සරණ යි. මේ ග‍්‍රන්ථය ලියැවුණු කාලය නිශ්චිත ව හඳුනා ගත නො හැකි වුව ද භාෂා විලාසය ආදී වූ කරුණු අනුව දඹදෙණි යුගයේ දී ලියැවෙන්නට ඇති බැව් පිළිගැනේ.

කාල වකවානුව කෙසේ වෙතත් කතුවරයාණන් පිළිබඳ පැහැදිලි සටහනක් ග‍්‍රන්ථාවසානයේ දකින්නට පිළිවන. ‘විද්‍යාචක‍්‍රවර්තීන් විසින් කළ අමෘතාවත නම් බුද්ධ චරිතය නිධි’ යන එකී පාඨයෙන් කරුණු කීපයක් ම අනාවරණය වේ.

එනම්, කතුවරයාගේ නාමය, විද්‍යාචක‍්‍රවර්ති බවත් කතුවරයා මේ ග‍්‍රන්ථයට තැබූ නාමය ‘අමෘතාවත’ බවත් කතුවරයාගේ අභිප‍්‍රායය වූයේ බුද්ධ චරිතය වර්ණනය කිරීම බවත් යන කාරණා ය.

අමාව පැමිණවීම හෙවත් අමා රසය ගෙන දීම යන අර්ථය පළ කරමින් අමෘතාවත (අමෘත+ආවත) යන ග‍්‍රන්ථ නාමය යෙදී ඇත්තේ ය. එහෙත් එකී නාමය හෝ බුද්ධ චරිතය යන්න හෝ ව්‍යවහාර නො වී බුත්සරණ යනුවෙන් මේ කෘතිය ප‍්‍රචලිත ව පවත්නේ මෙහි සෑම ග‍්‍රන්ථාංශයක් අවසානයෙහි ම කියැවෙන ‘බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු’ යන පාඨය හේතු කොට ගෙන ය. Read More

සීහළවත්ථු (sinhala wasthu )

By | ඉපැරණි ග්‍රන්ථ (Old Books )

” සීහළවත්ථු නැමැති පාළිපොත වනාහි විනාශමුඛයෙන් යන්තම් බේරාගන්නා ලද්දකි. මෙහි ලක්දිව පිළිබද කථා රාශියක් ඇතත් සිංහළ අකුරින් ලියැවුන පොතක් තවම දකින්නට නොලැබුණි. කුඩා කාලයේදී සීහළවත්ථු – සහස්සවත්ථු යන පොත් දෙකේ නම් වත් මට අසන්නට නොලැබුණි. නමුත් 1908 වර්ෂයේ මා රැන්ගුන් නුවර සිටියදී මේ නම් දෙකම මට දකින්නට ලැබුණි. ඒවා දකින්නට ලැබුණේ ඒ නුවර මහා විද්‍යාල භූමියෙහි තිබුණු බර්නාඩ් නිදහස් පුස්ථකාලයේ පොත් ලැයිස්තු වලිනි. ඒ කාලයේ මා  නිතර ඒ පුස්තකාලයට ගොස් දුර්ලභ පොත් කිහිපයක් පිටපත් කරගත් නමුත් මාගේ සැලකිල්ල වැඩිපුර යොමුවී තිබුනේ අභිධර්ම පොත් කෙරෙහිය … …

… … පසු කලෙක දී  සීහළවත්ථු – සහස්සවත්ථු දෙකෙන් අපේ ඉතිහාසය හා සිරික්විරිත් ආදිය දැනගැනීමට උපකාර ලැබිය හැකියැයි වැටහී ඒවා සෙවීමට උනන්දුවක් ඇති විය. ” අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර

සීහලවත්ථුවේ සිංහල අනුවාදනය ” ඉතාපැරණි සිංහල බණකථා” භාගතකරගන්න.

බාගතකර ගැනීම

දළදා පූජාවලිය (The Book of Dalada Pujavaliya )

By | ඉපැරණි ග්‍රන්ථ (Old Books )

පාලි දාඨාවංශය සිංහලට නගමින් ලියැවුණු තවත් පොතක් කුරුණෑගල සමයේ ම රචනා වී තිබෙනු දකින්නට පිළිවන. එනම්, දළදා පූජාවලිය යි. දළදා සිරිතත් දළදා පූජාවලියත් එක ම වකවානුවක දී නිර්මාණය වූ වග පැහැදිලි වන නමුත් කුමක් පළමු ව ලියැවිණි ද කුමක් පසු ව ලියැවිණි ද යන්න නිශ්චය කිරීම අසීරු ය. ඇතැම් විට මේ කෘති දෙක ම සමකාලීන ව ලියැවෙන්නට ඇතැයි ද අනුමාන කළ හැකි ය. මෙහි එන ‘… හස්තිගිරිපුර නිවාසී ශ්‍රද්ධ බුද්ධි සම්පන්න… අපගේ ශ්‍රී පරාක්‍රමබාහු මහරජාණෝ… ‘ යනුවෙන් වන සඳහන පරිදි මේ කෘතිය ද දළදා සිරිත මෙන් ම සිව් වැනි පරාක්‍රමබාහු හෙවත් දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයේ ම ලියැවී තිබේ.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා වූ පූජා වැල හෙවත් පූජා මාලාව යන අර්ථයෙන් දළදා පූජාවලිය යන්න යෙදී තිබේ. මෙය කතුවරයාණන් විසින් ම කෘතියට දෙන ලද නාමය බැව් පෙනේ. එහෙත් මේ කතුවරයාණන් කවුරුන් ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වන්නේ නැත. මෙහි ග්‍රන්ථාරම්භ ඡේදයෙහි දැක්වෙන ‘… භුවන හිතකර භුවනෛකබාහු මනුරාධිප ධුරන්ධර… සෙන්නන්රාමාත්‍ය අලගක්කෝනාර ජයසිංහ ප්‍රතිරාජ සමීරිත නාම ප්‍රසිද්ධ අග්‍රාමාත්‍යයන් තුන් දෙනා හට සංජනිත පුණ්‍ය සම්භාර ප්‍රධාන කොට කියනු යැ’ යනුවෙන් වූ සඳහන මෙන් ම ග්‍රන්ථාවසානයෙහි දී එන රජවරුන්ගේ විස්තර ද අනුව මේ කතුවරයා සිව් වැනි පරාක්‍රමබාහු රජුගේ පියාණන් වූ දෙවැනි භුවනෙකබාහු (ව්‍ය. ව. 1293 – 1303) රජුගේ කාලයේ ද වාසය කළ අයෙකැයි සිතන්නට ඉඩ ඇත. ඒ රජුගේ අමාත්‍යවරුන් වූ අලගක්කෝනාර, ජයසිංහ සහ ප්‍රතිරාජ යන ප්‍රභූන් තිදෙනාගේ ආරාධනයෙන් හෝ එසේ නැත හොත් ඒ තිදෙනාට පින් අනුමෝදන් කිරීමේ අදහසින් හෝ මේ කෘතිය කරන්නට ඇති බව මෙකී ඡේදය අනුව වටහා ගත හැකි ය. මේ ලේඛකයා පාලි දාඨාවංශය ලියූ ධර්මකීර්ති හිමිපාණන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරේ කෙනෙකුන් විය හැකි යැයි ද අදහස් කෙරේ. Read More

ඉතිහාසයේ අසිරිමත් ලේඛනය – මහාවංශය (The Mahavamsa – Great Chronicle History of Sri Lanka)

By | ඉපැරණි ග්‍රන්ථ (Old Books )

අපේ ඉතිහාසය විමසා බලන්නන්ට පෙනෙන අපූර්ව සාහිත්‍යයකි වංශකථා. පාලි හා සකු සාහිත්‍ය ඇසුරෙන් මේ සාහිත්‍යාංගය අපට හිමි විය. රඝුවංශය වැනි සංස්කෘත වංශකථා මෙන්ම බුද්ධවංශ, අනාගතවංශ වැනි පාලි වංශකථා ඇසුරෙන් අපගේ වංශකථා සාහිත්‍යය බිහි වන්නට ඇතැයි සිතිය හැකිය.

ශ්‍රී ලංකාවේදී වංශකථා සාහිත්‍යය නව මගකට අවතීර්ණ වන්නේ පූජනීය වස්තු මූලාශ්‍රය කොට වංශකථා සාහිත්‍යයක් බිහි වීමෙනි. බෝධින් වහන්සේ හා දළදා වහන්සේ ඇතුළු පූජනීය වස්තූන් අපට ලද විට ඒවායෙහි පරම්පරාව ඉතිහාසය මතු නොව ඒවාට කළ යුතු පුද පූජා පිළිවෙළ ද ලියා තැබීමට අවශ්‍ය විය. එය නවතම සාහිත්‍යාංගයක් අපට එක් කිරීමකි. බෝධිවංශය, දළදා සිරිත, කේසධාතු වංශය, ථූපවංශය, ධාතු වංශය වැනි වටිනා කෘති එයින් අපට උරුම විය.

තවත් පසෙකින් වංශකතාව විකසිත වන්නේ පුද්ගලයන් වටා ද වංශ කථා ලියැවෙන්නට පෙලඹීමෙනි. දඹදෙණි කාලයෙහි පාලියෙන් ලියැවෙන හත්‍ථවනගල්ල විහාරවංශය එවැන්නකි. අත්තනගලු විහාරයේ වංශකථාව ලියනු අටියෙන් මේ කෘතිය රචිත වුව ද සැබවින්ම සිරිසඟබෝ චරිතයේ විශිෂ්ටත්වය කියාපෑම එහි අරමුණු විය.

මේ පූජනීය සහ පුද්ගල වංශකථා අතරෙහි දැයේ වංශකථාව රචිත මහාවංශයක් අපට හිමි වීම ලොව අන් කවර රටක්වත් නොලද භාග්‍යයකි. ක්‍රි. පූ. හයවන සියවසෙහි සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මේ මහාවංශයට ඇතුළත් ය. මහාවංශය ලියැවෙන්නේ පස්වන සියවසෙහි මහානාම නම් මහා විහාරයික භික්ෂුවක් අතිනි. Read More

සද්ධර්ම රත්නාවලිය (saddharma ratnavali)

By | ඉපැරණි ග්‍රන්ථ (Old Books )

සිංහල බෞද්ධ සාහිත්‍යයේ අගනා ධර්ම ග්‍රන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය හැදින්විය හැකිය. දඔදෙණි යුගයේ විසූ ධර්මසේන මාහිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය උගත් නූගත් සියල්ලන්ගේම රසවින්දනයට පාත්‍ර වූවකි. දඹදිව සිදු වූ කථා ප්‍රවෘත්තින් වුවද, මෙරට පොදු ජන සමාජය තුළ භාවිතා වූ උපමා රූපක ආදිය යොදා ගනිමින් ලාංකේය සමාජයේම අත්දැකීමක් බවට පත් කරන්නට උත්සාහ දරා ඇත.

විශේෂයෙන් තමා කියන්නට උත්සාහ කරන දෑ උපමා රූපක මගින් පැහැදිලි කිරීමට උන් වහන්සේ උත්සාහ දරා ඇත. හාස්‍ය රසය , උපහාස රසය ආදි විවිධ රසයෙන් යුත් ඒ ඒ අවස්ථාවට උචිත එමෙන්ම පහසුවෙන් වටහා ගත හැකි උපමා රූපක භාවිතා කර ඇති අන්දම සද්ධර්ම රත්නාවලිය පුරාම ඇති විවිධ කතා වස්තූන් තුළින් පැහැදිලි වේ.

සද්ධර්ම රත්නාවලියේ එන කතා වස්තූන් අතරින් ඉතාම රසවත් කතා වස්තුවක් ලෙස මට්ටකුණ්ඩලී කතා වස්තුව දැක්විය හැකිය. කතුවරයා විසින් යොදාගෙන ඇති උපමා රූපක වල රසවත් බව නිසාම එය වරක් කියවූ පාඨකයා නැවත වරක් කියවයි. මෙහි විස්තර වන අදින්නපුබ්බක සිටාණෝ දැඩි මසුරෙකි. ඔහුගේ මසුරුකම කොතෙක්දැයි විස්තර කරන කතුවරයා තණපත අග තැවරුණ තෙල් බිදුවක තරම් දෙයක් වත් අනුන්ට නොදෙන බව පවසයි. හෙතෙම තම වස්තුව විය පැහැදම් කිරීමට දැක්වූ දැඩි ලෝභය නිසා තම එකම පුතුට කුණ්ඩලාභරණයක් සාදා දීමට රන්කරුවකු කැදවීමට බිය වෙයි. රන්කරුට වැය වන මුදල ඉතිර කර ගනිමින් තෙමේම එම කාර්යය සිදු කරයි. ඔහුගේ එම මෝඩ ක්‍රියාව ධර්මසේන හිමියන් විසින් උපහාසයට ලක් කර ඇත්තේ අකුරු ලියන සේ නොදත්තවුන් පත්වල හිරි අදනා සේ යනුවෙනි. අකුරු ලියන්නට නොදන්නා කෙනෙක් පොතක් ගෙන ඉරි ඇන්දත්, එහි අකුරක හැඩය හෝ නිවැරදි අකුරක් ලියවෙන්නේ නැත. අදින්නපුබ්බක සිටාණන් කළ කාර්යයද එබදුමය. හෙතෙම රත්රන් ටිකක් ගෙන තලාපියා ආභරණයක් තැනවුවද, එහි ශිල්පියකු විසින් කළ ආභරණයක ඇති සියුම් බව මටසිලුටු බව හුරුබුහුටි බව නොමැත. එය පැළදීමෙන් පසු ඔහුගේ පුතුට මට්ටකුණ්ඩලී යනුවෙන් නමක් පට බැඳුණා පමණි.

– ඒ.ඒ.නිර්මලා අමරසිංහ (සියඔලාණ්ඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක )

සද්ධර්ම රත්නාවලිය භාගත කරගන්න
බාගතකර ගැනීම

සද්ධර්මාලංකාරය … (Saddharmalankaraya.)

By | ඉපැරණි ග්‍රන්ථ (Old Books )

පොළොන්නරු සමයේ වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින් පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. කුරුණෑගල සමය වනවිට පන්සිය පනස් ජාතකය ද සම්පූර්ණයෙන් සිංහලට නැගී තිබීම නිසා තවත් විවිධ කෘති උදෙසා පඬිවරු උත්සුක වී ඇත්තාහ. ඊට නිදසුනක් සේ දැකිය හැකි සද්ධර්මාලංකාරය කථා පුවත් රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.

සද්ධර්මාලංකාරය ලියැවුණේ නිකාය සංග්‍රහය බලාවතාර සන්නය ආදි වූ කෘතිවලට පසු ව බව ග්‍රන්ථාවසනයේ එන ගාථාවලින් පැහැදිලිවේ. තව ද ඒ වනවිට මේ හිමිපාණන් සංඝරාජ පදවියට පත් ව සිටි වග එකී ගාථාවල එන ‘යො ධම්මකිත්තිරිත සංඝරාජෝ…’ යන්නෙන් පැහැදිලි වේ. එබැවින් මේ කෘතිය ගම්පොළ රාජධානි සමයේ අවසන් කාලයේ දී පමණ ලියැවුණු බව තහවුරු වේ.

මේ පොත රචනා වූයේ ප්‍රියදර්ශී නම් හිමිපාණ කෙනෙකුන්ගේ ආරාධනයෙන් වග පළමු පරිච්ඡේදය අවසානයේ එන ‘…ප්‍රිය සබ්‍රහ්මචාරි වූ ප්‍රියදර්ශි නම් බුද්ධ පුත්‍රයාණන් විසින් කරන ලද ආරාධනාව හා… සාධු ජනයන්ගේ සිත් පහදවා ශුද්ධ බුද්ධි වර්ධනය කෙරෙමින් ඔවුන්ට ත්‍රිවිධ සම්පත් සාධා දෙන පිණිස …” ආදි තොරතුරුවලින් පැවැසේ. තව ද තුන් වැනි පරිච්ඡේදය අවසානයේ ‘… මම ද මතු ලොවුතුරා බුදු ව … සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් මාර්ගඵලයට පමුණුවා ඔවුන් හා සමඟ අතිශාන්ත වූ අමා මහ නිවන්පුර පැමිණෙව්වා” යැයි ප්‍රාර්ථනය කෙරේ. මේ අනුව ප්‍රියදර්ශී හිමියන්ගේ ආරාධනය මේ කෘතිය සඳහා බාහිර නිමිත්ත වූවා පමණක් නො ව කතු හිමියන්ගේ අභිප්‍රායය අභ්‍යන්තර නිමිත්ත වූ බැව් පැහැදිලි වේ. – ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ

සද්ධර්මාලංකාරය භාගත කරගන්න

බාගතකර ගැනීම