Skip to main content

මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව – ( Maha Sathipattana Suthra Warnanawa)

වර්ග තුනක ඇතුළත් කරන ලද සූත්‍ර තිස් හතරකින් යුත් දීඝ නිකාය වනාහී සූත්‍රපිටකාගත ප්‍රථම පුස්තකයයි. එම වර්ග තුනෙන් තෙවැන්න වන මහා වග්ගයේ එන නවවැනි සූත්‍රය වන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයයි. මෙය බෞද්ධ භාවනාව නිරවුල්ව මෙන්ම ක්‍රමානුකූ®ලව උගන්වන සූත්‍රයක් වන හෙයින් දේශීය බෞද්ධයන්ගේ මතු නොව විදේශීය බෞද්ධයන්ගේද අවධානයට ලක්ව ඇත. සතිපට්ඨාන භාවනාව යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි සැබැවින්ම දැකගත හැක්කේ එම මහා සතිපට්ඨාන සූත්‍රය වෙත ඉතා සමීප දෘෂ්ටියක් එල්ල කිරීමෙන් පමණකි. එසේ බලන විට පෙනෙන්නේ මෙය මුළු බුදුදහමෙහිම සාරය එකම සූත්‍රයක් තුළට කැටි කොට දැක්වීමක් බඳු බවය.

කුරු රට කම්මාස්සදම්ම නම්වූ නියම් ගමේදී බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය දේශනා කරන ලදී. මහා සුතසෝම හා ජයද්දිස ජාතකයෙහි සඳහන් වන ආකාරයට පාදයෙහි කබර සහිත වණ කැළැලක් තිබූ හෙයින් පෝරිසාදයාට ‘කම්මාස’ යන්න අන්වර්ථ විය. කම්මාස නම් වූ පෝරිසාදයා දමනය කළ ස්ථානය සහිත ප්‍රදේශයද කම්මාස්සදම්ම නියම් ගම යැයි ප්‍රකට විය.

පුරුෂයෙකු යම් සේ රන් කරඬුවක් ලැබ එහි නොයෙක් මල් බහා තබන්නාක් මෙන්, රන් පෙට්ටියක් ලැබ සත්රුවන් බහා තබන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේද කුරු රටවාසී පිරිස ලැබ ගම්භීරාර්ථ සහිත දහම් දෙසුම් පැවැත්වූහ. කුරු රටදී දේශනා කළ මහානිදාන, සාරෝපම, රුක්ඛූපම, රට්ඨපාල ,මාගන්ධිය ආනෙඤ්ජ සප්පාය වැනි සූත්‍ර එයට දෙස් දෙයි. මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කිරීමට පෙර සිටම කුරු රට වැසියන් සතිපට්ඨාන භාවනාව වැඩීමට හුරුවී සිටි බව සුමංගලවිලාසිනියෙන් පැහැදිලි වේ. “දෙසනාපරියොසානෙ පන තිංසභික්ඛූ සහස්සානි අරහන්තෙ පතිට්ඨහිංසු ‘ති” යන අටුවා පාඨයට අනුව පැහැදිලි වන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවසානයේදී තිස් දහසක් භික්‍ෂූන් රහත් වූ බවයි. නමුත් එවන් සඳහනක් සූත්‍රයේ කිසි තැනක විද්‍යමාන නොවේ.

සර්වාස්තිවාදීන්ගේ ස්මෘතිත්‍යුපස්ථාන, මහායානිකයන්ගේ ප්‍රඥාපාරමිතා, මහාසාංඝිකයන්ගේ ඒකායන යන සූත්‍ර ධර්මවල අන්තර්ගතය හා මහා සතිපට්ඨාන සූත්‍රය අතර සමානකම් රැසක් විද්‍යමාන වේ. එමෙන්ම ථෙරවාදී ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේදීද සංයුක්ත නිකායේදීද සතිපට්ඨාන සූත්‍ර අපට හමුවේ. එමතුද නොව අංගුත්තර නිකායේදී සතිපට්ඨාන වග්ගයක්ද අභිධර්මපිටකාගත විභංගප්පකරණයේ දහඅට වැදෑරුම් විභංග අතර සතිපට්ඨාන විභංගයක්ද විද්‍යමාන වේ. මහා සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් ස්ථාන කිහිපයකදීම දේශනා කරන ලද හෙයින් මෙලෙස ත්‍රිපිටකයේ විවිධ ස්ථානවලට එකතු වී ඇතැයි සිතීමට වඩා යෝග්‍යතර වන්නේ එක් එක් භාණකාචාර්යවරුන් සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති වටිනාකම සලකා වැඩි අඩු වශයෙන් එය සකස් කොට තම තමන්ගේ භාණක පරම්පරාවලට එකතු කර ගත් බවයි.

මහා සතිපට්ඨාන සූත්‍රාගත
“කථඤ්ච භික්ඛවෙ භික්‍ඛු “
“පුනචපරං භික්ඛවෙ භික්‍ඛු “
“කතමොච භික්ඛවෙ…”
“සෝක ධම්මානං භික්‍ඛවෙ“
“එවම්පි ඛෝ භික්‍ඛවෙ භික්‍ඛු ….”

වැනි සඳහන් දෙස බැලූ කල මෙම සූත්‍රය භික්‍ෂූන් සඳහා පමණක් අදාළ බව ඇතමෙකුට සිතිය හැකිය. නමුත් “භගවතො අනුසාසනියං සංපටිච්ඡන්තෙසු භික්‍ඛු සෙට්ඨා සබ්බප්පකාරාය අනුසාසනියා භාජන භාවතො. තස්මා සෙට්ඨත්තා භික්‍ඛුති ආහ. තස්මිං ගහිතෙ පන සෙසා ගහිතාව හොන්ති, රාජගමනාදිසු රාජග්ගහනෙන සෙස පරිසා විය .” යන සුමංගලවිලාසනියේ එන සතිපට්ඨාන සූත්‍ර වර්ණනා පාඨයට අනුව පැහැදිලි වන්නේ රජුගේ ගමන්වලදී රජු ගැනීමෙන් සෙසු පිරිසද ගැනෙන්නාක් මෙන් ‘භික්‍ඛු’ යැයි කී කල්හි සෙසු පිරිසද අයිති වන බවයි. එමෙන්ම භාවනාවට පැමිණි කල්හි දෙවියකු හෝ මනුෂ්‍යයකු හෝ වේවා භික්‍ඛු ගණයෙහි ලා ගිණිය හැකි බව පහත අටුවා පාඨයෙන් පැහැදිලි වේ. ”පටිපන්නකොහි දෙවො වා හොතු මනුස්සො වා භික්‍ඛුති සංඛං ගච්ඡතියෙව “ එමෙන්ම දීඝනිකායේ පාටිකවග්ගාගත සම්පසාදනීය සූත්‍රය ”චතුසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා ….” යනාදි වශයෙන් දක්වන පරිදි සතර සතිපට්ඨානයන්හි හොඳින් පිහිටුවන ලද සිත් ඇතිව සම්මා සම්බෝධිඥානය ලැබිය යුතු බව පැහැදිලි වේ.

අභිධර්ම පිටකාගත කථාවත්‍ථුපකරණයේදී “සබ්බේ ධම්මා සතිපට්ඨානා ති” (සෑම ධර්මයක්හුම සතිපට්ඨාන වෙත්ද? ) යන පැනයට “ආමන්තා” (එසේය) යනුවෙන් පිළිතුරු ලබා දී ඇත. එහි නැවත නැවත නඟන අතුරු ප්‍රශ්නද ඇත. එහිදී “සබ්බං ධම්මං ආරබ්භ සති පත්තිට්ඨතී’ ති සබ්බේ ධම්මා සතිපට්ඨානන්ති?” (හැම දහම් අරභයා සිහි එළඹ සිටුනේ යැයි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද) යන පැනයටද “ආමන්තා” යනුවෙන් පිළිතුරු ලබාදී ඇත.

මහා සතිපට්ඨාන සූත්‍රය ‘උද්දේස ‘,’නිද්දේස’ වශයෙන් කොටස් දෙකකින් යුක්තය. උද්දේස යන්නෙහි ‘කෙටි විස්තරය’ යන අදහස ගැබ්වී ඇත. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන උද්දේසයද එම සූත්‍රයේ සාරය කෙටි විස්තරයකින් දක්වයි. එහිදී සූත්‍ර නිදානය හා සතිපට්ඨානිසංස ගෙනහැර දක්වන අතර සතර සතිපට්ඨානයද කෙටියෙන් හඳුන්වා දෙයි. උද්දේසවාරයේදි සතිපට්ඨානිසංස පහක් දක්වා ඇත. ඒවා මෙසේය.

1. සත්තානං විසුද්ධියා (සත්වයන්ගේ පිරිසුදු බව පිණිස)
2. සොකපරිද්දවානං සමතික්කමාය (සෝ වැළැපුම් ඉක්මෙනු පිණිස)
3. දුක්ඛදොමනස්සානං අත්‍ථංගමාය (දුක් දොම්නස් දුරුවනු පිණිස)
4. ඤායස්ස අධිගමාය (අරි අටැඟි මඟට පැමිණෙනු පිණිස)
5. නිබ්බානස්ස සච්ඡිකිරියාය (නිර්වාණය සාක්‍ෂාත් කරනු පිණිස)

මෙහි එන ”ඒකායනො අයං භික්ඛවෙ මග්ගො” යන්නද විමසිය යුත්තකි. ‘අයන’ යන්න මාර්ගය යන්නට සමාන පදයකි. එසේ නම් මාර්ග ශබ්දයක් යළි මෙහි යෙදුවේ මන්ද? අර්ථෝද්දීපනයම අරමුණු කොට ගෙන ය. (‘වනස්පති වෘක්‍ෂය’ ආදියෙහි මෙනි) මහා සතිපට්ඨාන සූත්‍රයේ අවසාන භාගයේදි “යො හි කොචි භික්‍ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා” යනුවෙන් පටන්ගෙන ක්‍රමයෙන් කාලය අඩු කරමින් ගොස් සූත්‍රයේ අවසාන ඡේදයට පූර්ව ඡේදයේදි ”තිට්ඨතු භික්ඛවෙ අඩ්ඪමාසෝ, යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති “ යනුවෙන් සත් දිනක් තුළ සතිපට්ඨාන භාවනානිසංස ලද හැකි බව පෙන්වා දී ඇත.

කාය, වේදනා, චිත්ත සහ ධම්ම යන සතර සතිපට්ඨානයන් අතුරෙන් ප්‍රථම සතිපට්ඨාන තුනෙන් යෝගාවචරයාගේ සිත එක අරමුණකට ගැනීම සඳහා උපකාරී වන සමථ භාවනාව හෙවත් සමාධී භාවනාව ඉගැන්වෙන බවත් එහි දී විදර්ශනාවේ ලකුණු විද්‍යමාන වන බවත් ධම්මානුපස්සනාවේදී විදර්ශනාව ඍජුවම අරමුණු කොටගෙන ඇති බවත් දැකගත හැකිය. ”එකවීසතියා ඨානේසු කම්මට්ඨානං අරහන්තෙ පක්ඛිපිත්වා ඉදං ගම්භීරත්‍ථං මහා සතිපට්ඨාන සුත්තමකාසි” යන සුමංගලවිලාසිනි අට්ඨකථා පාඨයට අනුව පැහැදිලි වන්නේ මෙම සූත්‍රයෙහි කර්මස්ථාන විසිඑකක් ඇති බවයි.

මහා සතිපට්ඨාන සූත්‍රයෙහි අන්තර්ගතය දෙස විමසුම් ඇස යොමු කිරීමේදි පැහැදිලි වන්නේ ක්‍රමානුකූල පටිපාටියකට අනුව එය සකසා ඇති බවයි. මුලින්ම එන ආනාපාන කාණ්ඩයෙන් යෝගාවචරයාට සරලතම කමටහන උගන්වයි. එහිදී සිදුවන්නේ තමා තුළ ස්වභාවිකව සිදුවන සංසිද්ධියක් වන ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අවධානය යොමුකිරීමයි. එයින් දෙවැනි පියවර වන ඉරියාපථ කාණ්ඩයට යෑමේ පහසුවක්ද ඇතිවේ. ඉරියාපථ පබ්බයේදී සිදුවන්නේ තමාගේ සතර ඉරියව් පිළිබඳ සිහිය පිහිටුවීමයි. ඉන් පසුව හමුවන සම්පජඤ්ඤ පබ්බයේදී දෛනිකව සිදුකරන වැදගත් වූද නොවැදගත් වූද සියලුම කාර්යයන් කෙරෙහි සිහිය පිහිටුවීම පිළිබඳ ඉගැන්වෙයි.

ඉනික්බිතිව එන පටික්කුල මනසිකාර පබ්බයේදි ශරීරාභ්‍යන්තරය කෙරෙහි යෝගාවචරයාගේ අවධානය යොමුකරවයි. මේ වන විට ආශ්වාස ප්‍රශ්වාසය, ඉරියව් පැවැත්ම ආදිය පිළිබඳ පුර්ණාවධානය යොමුකර සිටින යෝගියාට ශරීරයේ එක් එක් කුණප කොටස් පිළිබඳ වෙන වෙනම සිහිය මෙහෙයවීම පහසුවේ.

ඉනික්බිතිව දක්වා ඇති ධාතු මනසිකාර පබ්බයෙන් එකී දෙතිස් මහා කුණපවල සැකැස්මට පාදක වූ මහා භූ®තරූප ගෙනහැර දක්වයි. මෙලෙස මෙනෙහි කිරීමෙන් පසුවත් ශරීරය පිළිබඳ බින්දු මාත්‍රික හෝ ආශාවක් ඇත්නම් එය දුරු කිරීම අරමුණු කොට ගෙන ඉනික්බිතිව නවසීවථිකය දක්වයි. එතුළින් ශරීරයේ අස්ථීර බව ප්‍රායෝගිකව අත්විඳීමේ මහඟු අවස්ථාවක් යෝගාවචරයාට උදාවෙයි. මෙලෙස යෝගාවචරයාගේ ඉන්ද්‍රියයන්ට පහසුවෙන් ගෝචර වන රූපකය පිළිබඳව ක්‍රමානුකූලව අවධානය යොමුකිරීමෙන් පසුව ඔහුට පහසුවෙන් ගෝචර නොවන වේදනා හා සිතුවිලි පිළිබඳ අවධානය යොමුකර ඇත්තේ වේදනානුපස්සනාවේදී හා චිත්තානුපස්සනාවේදීය. අවසාන වශයෙන් බොහෝ සෙයින් ගැඹූරු වූ ත්‍රිලක්‍ෂණානුකූලව දැකිය යුතු වු ධම්මානුපස්සනාව දක්වා ඇත.

හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම වාසි රාජකීය පණ්ඩිත දඹුල්ලේ සුදේව හිමි

මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව භාගතකරගන්න