මිලින්ද ප්‍රශ්නය (Milind prashna ) - IFBC Organization | Download

මිලින්ද ප්‍රශ්නය වනාහි බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමෙන් වසර පන්සියයකට පමණ පසු රචිත ධර්ම ග්‍රන්ථයකි. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයේ පාලකයකුව සිටි මියෑන්ඩර් හෙවත් මිලින්ද නම් රජ කෙනකුන් විසින් නාගසේන නම් රහතන් වහන්සේ නමකගෙන් විමසන ලද බුදු දහම පිsළිබඳ ගැඹුරු ප්‍රශ්න සඳහා උන්වහන්සේ විසින් ලබාදුන් පිළිතුරු ඇතුළත් කොට රචනා කරන ලද ග්‍රන්ථයකි මෙම ග්‍රන්ථය. මෙය රචනා වී ඇත්තේ එකී ධර්ම සංවාදය සිදුවූ යුගයට පසු කාලයකදී බව ග්‍රන්ථයෙහි එන තොරතුරුවලින්ම පෙනී යයි.

මෙම ධර්ම ග්‍රන්ථය රචනා වී ඇති භාෂා මාධ්‍ය වන්නේ අද පාලි භාෂාව යන්නෙන් හඳුන්වල මාගධී භාෂාවෙනි. වියතුන්ගේ අදහස්‌වලට අනුව මෙය මුලදී සංස්‌කෘත භාෂාවෙන් තිබී පසුව පාලියට පරිවර්තනය කරන ලද බවද සැලකේ.ථෙරවාද අභිධර්ම පිටකයේ නිමාව සටහන් කරමින් රචිත කථාවත්ථූපකරණය නම් ග්‍රන්ථයෙන් පසු බිහිවූ වැදගත්ම ධර්ම ග්‍රන්ථය හැටියටද මිලින්ද ප්‍රශ්නය සැලකේ.

මෙහිලා මිලින්ද රජතුමන් විසින් නගන ලද බුදුදහම පිළිබඳව උභතෝකෝටික ප්‍රශ්න ගැන සලකා බැලීමේදී රජතුමා ධර්මය පිළිබඳව හසල දැනුමක්‌ ඇත්තකු බව පැහැදිලිව පෙනෙයි. එකී ප්‍රශ්නවලට ඊට නොදෙවෙනි විචක්‌ෂණ භාවයකින් නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු සපයයි. උන්වහන්සේ මෙහිදී අනුගමනය කර ඇත්තේ තාර්කික ක්‍රමයකට වඩා උපමා උදාහරණ මගින් ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයකි. සමහර විටෙකදී උන්වහන්සේ ගෙනහැර දක්‌වන උපමා විශ්මය උපදවන සුළුය. මිලින්ද ප්‍රශ්නය උපමා සාගරයක්‌ යෑයි කිවහැකි තරම් එය නැවුම් උපමා ගොන්නකින් ගහනව ඇත. මෙම ප්‍රශ්න උත්තර කියවන්නකුට මෙම ප`ඩිවරුන් දෙදනාගේ ධර්ම ඤාණය පිළිබඳව අපමණ ගෞරවයක්‌ ඇතිවීම නොවැළැක්‌විය හැක්‌කකි. මිලින්ද ප්‍රශ්නයේ වැදගත්කම කෙතරම්ද යතොත් ථෙරවාද මෙන්ම මහායාන ආචාර්යවරුන්ද මෙය පිළිගැනීම තුළින් තහවුරු වේ.

ක්‍රි.ව. 5 වන ශතවර්ෂයේදී සිංහල අටුවා පාලියට නැගූ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේද මිලින්ද ප්‍රශ්නයට අපමණ ගෞරවයක්‌ දක්‌වා ඇති බව පාලි අටුවා කියෑවීමෙන් වටහාගත හැකිය. එහිදී උන්වහන්සේ යම් කරුණක්‌ විනිශ්චය කර දැක්‌වීමේදී නාගසේන තෙරුන් වහන්සේ විසින් මෙසේ විසඳා ඇති බැවින් අන් කවර කතාද? යන්නෙන් කර ඇති ප්‍රකාශය එයට කදිම නිදසුනකි.

මිලින්ද ප්‍රශ්නයේ අපට හමුවන ප්‍රධාන චරිත දෙකකි. එනම් මීට ඉහතින් සඳහන් කළ මිලිඳු රජු සහ නාගසේන රහතන් වහන්සේය. මිලින්ද ප්‍රශ්නය ඉංග්‍රීසියට පරිවර්තනය කළ රීස්‌ ඩේවිඩ්ස්‌ ප`ඩිවරයා බැක්‌ටි්‍රයාවෙ විසූ ග්‍රීක රජතුමෙක්‌ බව කියයි. මිලින්ද ප්‍රශ්නයේ එන පරිදි අලසන්දා නම් දිවයිනෙහි මෙතුමා ඉපදී ඇත. අලසන්දා යන්න ඇලෙක්‌සැන්ඩි්‍රයාව ලෙස හඳුනාගෙන ඇත. මෙතුමාගේ පාලන ප්‍රදේශය සාගල පුරය බව කියෑවේ. මිලිඳු රජතුමා යෝනකයකු බව කියන ග්‍රන්ථාගත තොරතුරු අනුව ඔහු ග්‍රීකයකු බව උගතුන් හඳුනාගෙන ඇත. මිලිඳු රජතුමා එකල සිටි මහණ බමුණන් කරා එළඹ ප්‍රශ්න අසා ඔවුන් පැරදවීම ජයටම කරගෙන ගිය වාදයෙහි දක්‌ෂයෙකි. නාගසේන මහරහතන් වහන්සේ හා වාද කිරීමේදී උන්වහන්සේගේ පිළිතුරු වලින් පැහැදීමට පත් රජතුමා මහා විහාරයක්‌ කරවා නාගසේන තෙරුන්වහන්සේට පූජා කළහ. අවසන සිය රාජ්‍ය පුතණුවන්ට භාරකොට තෙමේත් පැවිදිව බවුන් වඩා රහත් වූ බව මිලින්ද ප්‍රශ්න ග්‍රන්ථයේ සඳහන් වෙයි.

මෙහි හමුවන අනෙක්‌ චරිතය වනාහි රජ විසින් අසනු ලබන්නාවූ ප්‍රශ්න විසඳන නාගසේන මහරහතන් වහන්සේය. උන්වහන්සේ සිවු පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක්‌ බව මෙහි සඳහන් වේ. නාගසේන තෙරුන්වහන්සේ රජු වෙත සපයා ඇති පිළිතුරු දෙස බැලීමේදී එම කියමන සත්‍ය බව මනාව තහවුරු වේ. ප්‍රශ්නවලට සපයා ඇති පිළිතුරුවල අන්තර්ගතය උන්වහන්සේගේ තර්කන හැකියාව පෙන්නුම් කරයි. එමෙන්ම දක්‌වා ඇති උපමා උදාහරණ ආදියෙන්ද උන්වහන්සේගේ ප්‍රතිභාන ශක්‌තිය ද විසිතුරු ලෙස ප්‍රදර්ශනය වී තිබේ. නාගසේන මහරහතන් වහන්සේ මහාසේන නම් දිව්‍යපුත්‍රයෙක්‌ව සිට මෙලොව පහළවී ඇත. මිලිඳු රජු පරාජය කළ හැකි කිසිවෙක්‌ මිහිපිට නොවූ නිසා උන්වහන්සේ රජු පරදවන ආරාධානාව පරිදි මෙලොව පහළවී සියල් සිල්ප සතර දැන ඉගෙනගෙන පසුව පැවිදි වී මහරත් බවට පත්වන්නේ සිවු පිළිසිඹියා සහිතවය. මේ පුවත මිලින්ද ප්‍රශ්නයේ විසිතුරුව සඳහන්ව ඇත.

මිලිඳු මහරජතුමන් විසින් විමසන ලද ප්‍රශ්න අතර කර්මක්‌ෂය ප්‍රශ්නය, දෙව්දත් පැවිදි වීම පිළිබඳ ප්‍රශ්නය, දුෂ්කර ක්‍රියා ප්‍රශ්නය, ඥාතිපේත පින්පෙත් ප්‍රශ්නය, ශ්‍රමණ දුශ්ශීල ප්‍රශ්නය, ආමිස පූජා පිsළිබඳ ප්‍රශ්නය, ආදී ප්‍රශ්න සමූහයක්‌ ඇතුළත් වේ. එමෙන්ම නිවන පිළිබඳ ප්‍රශ්න ගණනාවක්‌ හා විනයට අදාළ ප්‍රශ්න ගණනාවක්‌ ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් විමසා ඇත.

ස්‌ථවිරවාද හෙවත් ථෙරවාද හා මහායාන යන සම්ප්‍රදාය දෙකෙන්ම අතිශය සම්භාවනාවට පත් මිලින්ද ප්‍රශ්නය පාලි භාෂාවෙන් සිංහලට නගා ඇත. මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මල්වතු මහා විහාරයෙහි වැඩසිටි හීනටිකුඹුරේ සුමංගල නම් හිමියන් විසින් සද්ධර්මාදාස නමින් කළ සිංහල පරිවර්තනය වැදගත් කොට සැලකෙයි.එය පාලි මිලින්ද ප්‍රශ්නයයෙහි අන්තර්ගතයට වඩා වැඩි යමක්‌ විස්‌තර කර ඇති පොතකි. වියතුන්ට අනුව එහි දොස්‌ නැතුවාම නොවේ. එහෙත් මහනුවර යුගයේ තිබූ සමාජ ආගමික පසුබිම දන්නා අයකුට මේ තරමින් හෝ මෙය පරිවර්තනය වී තිබීම ගැන සතුටු විය හැකිය

බෙල්ලන්විල රාජමහා විහාරවාසී
ශාස්‌ත්‍රපති පූජ්‍ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි

මිලින්ද ප්‍රශ්නය භාගතකරගන්න

බාගතකර ගැනීම
IFBC Home Page