පිරුවාණා පොත් වහන්සේ (Piruwana poth wahanse) - IFBC Organization | Download

කරුණාව, දයාව සහ මෛත්‍රිය මුසු සත්‍ය වාක්‍ය සමූහය පිරිතයි. මෙහි විශේෂයෙන් අඩංගු වන්නේ බුදුගුණ, දහම්ගුණ සහ සඟගුණයි. සූත්‍රදේශනා අවසානයේ සත්‍ය වචනයෙන් යහපතත් වේවා යැයි ආශිර්වාද කරනු ලබයි. (ඒතේන සච්චේන සුවත්ථි හෝතු) හාත්පසින්ම ආරක්‍ෂාව ලැබීම පිරිතෙහි ආනුභාවයෙන් සිදුවේ. ‘පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං’ ලෙස දක්වන්නේද එහෙයිනි.

බෞද්ධ සමාජයෙහි විවිධ අවස්ථාවන්හිදි මෙම සත්‍ය දේශනය සිදුකර ගනී. දරුවකු මව්කුස පිළිසිඳ ගත් තැන් පටන් ජීවිතයේ සෑම කටයුත්තකදීම පිරිත් දේශනා සිදුකිරීම සාමාන්‍යය.විශේෂයෙන් විවිධ අපල උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාවීමට මෙම පිරිත යොදාගත් අයුරු පසුකාලීනව දැනගත හැකිවේ. ‘නක්ඛත්ත යක්ඛ භූ®තානං’ ආදි වශයෙන් පිරිත් දේශනාව අවසානයේ සඳහන් වන්නේ නක්ෂත්‍රාදියෙන් , විවිධ භූත බලවේගයන්ගෙන් සිදුවන දෝෂ දුරුකෙරෙන ලෙස වන ආශිර්වාදයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේද, “ඉමං පරිත්තං උග්ගණ්හාථ ඒතං මේ පරිත්තංච කම්මට්ඨානංච භවිස්සති “ මෙය ඔබට ආරක්ෂාවක් මෙන්ම කර්මස්ථානයක්ද වන්නේය යනුවෙනි.

පිරිත් දේශනාවේදි ශබ්ද රසයට විශේෂ තැනක් හිමිවේ. අර්ථය වැදගත් නොවේ යැයි මෙයින් අදහස් නොකෙරේ .එහෙත් පිරිත් දේශනාව ධර්මදේශනාවකට වඩා ශබ්දය පදනම් කොටගත්තකි. ඊට කදිම නිදසුන් බුද්ධකාලයෙන්ම සපයාගත හැකිය. මන්දයත් පිරිත සමඟ බැඳුණු වචන සහ උපදේශ රාශියක් පෙළ දහම සතුය. ඉන් එක් වචනයක් වන්නේ ‘සරභඤ්ඤ’ යන්නයි .මෙහි අරුත වන්නේ නිවැරැදිව පද බෙදමින් මනාව උච්චාරණය කිරීමයි. උදානපාලියට අනුව සෝණකුටිණ්ණ තෙරුන් බුදුරදුන්ට ඇසෙන පරිදි අට්ඨක වර්ගයේ ගාථා මිහිරි හඩින් ගායනා කළ බවත් එය බුදුරදුන්ගේ අගැයුමට ලක්වූ බවත් සඳහන්ය. එයින් පැහැදිලි වන්නේ මෙම ‘සරභඤ්ඤා’ බව බුදුරදුන් අගයකර ඇති බවයි.

‘අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤං’ ලෙස චුල්ලවග්ග පාලියෙහි මහා සංඝරත්නයට පැනවීමක්ද සිදුකර ඇත. එසේම ගීතස්වරය ආදි රාගි සිතිවිලි ජනනය වන අයුරින් ගායනා කිරීමද බුදුරදුන් අනුමත නොකරයි.

“ න භික්ඛවේ ආයතණේන ගීතස්සරේන ධම්මෝගායිතබ්බෝ “ වශයෙන් චුල්ලවග්ගපාලියෙහි දී සඳහන් කරන්නේ මෙම පැනවීමයි. මෙයින් පැහැදිලි වන්නේ ගායනය අනුදැන වදාරා ඇතිමුත් ගීතයක් සේ ගායනා කිරීම පරිහානිය ඇතිකරන බවයි.

බුද්ධකාලයේ බොහෝ දෙනා පිරිතෙහි ආනිශංස ලබාගත් අවස්ථා නොයෙක් තැන්හි සඳහන් වේ. බුද්ධභාෂිතය ආශිර්වාදාත්මකව දේශනාකරවාගෙන ඇත. විශාලා මහනුවර තුන්බිය ඇති වූ අවස්ථාව ඊට කදිම නිදසුනකි. රතනසූත්‍ර දේශනාව එහිදී යොදා ගැනුණි. බුදුහිමියන් වෙතින් උගත් රතන සූත්‍රය දේශනා කරමින් අනඳ හිමියන් විසින් විශාලා මහනුවර පුරා පිරිත් පැන් ඉසින ලදී. එසේම බුදුරදුන් රෝගාතුර වූ අවස්ථාවක චුන්ද හිමියන් ලවා චුන්ද බොජ්ඣංගය දේශනා කරවා ගැනීමත් ඉන් එම රෝගාබාධය සුව වූ බවත් සඳහන්ය. කාශ්‍යප මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ වෙනුවෙන්ද දේශනා කළ බොජ්ඣංග දෙකක් ලෙස කස්සප බොජ්ඣංගය සහ මහා මොග්ගල්ලාන බොජ්ක්‍ධංගය දැක්විය හැකිය. එහිදී උන්වහන්සේ දෙනමගේම ලෙඩ සුව විය. එහෙයින් වර්තමාන බෞද්ධයෝද යම් රෝග අවස්ථාවකදී බොජ්ඣංග සූත්‍රදේශනා කරවා ගනිති. භාවනා කිරීමට වනගත වූ භික්‍ෂූන් වහන්සේට වනයේදි මුහුණ පාන්නට සිදුවූ අමනුෂ්‍ය බලවේගයන්ගෙන් ආරක්‍ෂාවීම සඳහා දේශනා කළ සූත්‍ර දේශනාව කරණීයමෙත්ත සූත්‍රයයි. මෙත් වැඩීම පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත්ය.

පිරිත ලාංකේය සමාජය තුළ මුල්බැස ගැනීමට හේතුවක් විය. අතීතයේ බුදුදහම ආශිර්වාදාත්මක මන්ත්‍ර ස්වරූපයෙන් වජ්‍රායානිකයෝ යොදාගත්හ. එහෙයින් මහාවිහාරික භික්‍ෂූහු තෝරාගත් සූත්‍රගෙන “ චතුබාණවර පාළී” නම් කෘතිය සම්පාදනය කළහ. මෙය අනුරාධපුර යුගයෙහි රචිත කෘතියකි. බණවර සතරක් ලෙස සංග්‍රහ වූ මෙය පසුව අතිරේක බණවරක් සමඟින්, පහක් ලෙස අද දක්වාම පවතී.

බණවරක් යනු මෙසේය. අකුරු 8 ක් එක් පදයකි. පද සතරක් ගාථාවකි. ගාථාවකට අකුරු 32 කි. අකුරු 32 කින් යුත් ගාථා 250 ක් බණවරකි. ඒ අනුව එක් බණවරකට අකුරු අටදහසකි. සතර බණවර අක්‍ෂර තිස්දෙදහසකින් සමන්විතය. අකුරු වෙන් වෙන්ව ගණන් බලමින් බණවර පිළිියෙළ කොට ඇත. මේ සඳහා සූත්‍ර පිටකයේ තෝරාගත් සූත්‍ර 24 ක් චතුබණවරපාලී කෘතියට එක්කර ඇත. මෙම සියලු සූත්‍ර බුද්ධභාෂිතය වේ. මෙලෙස රචිත පිරිත්පොත සඳහා සූත්‍රපිටකයේ නිකාය පහෙන් සූත්‍ර උපුටාගෙන ඇත්තේ මෙසේය.

පළමුවැනි බණවර

සරණාගමනය – ඛුද්දකනිකාය
දස සික්ඛාපද –ඛුද්දක නිකාය
සාමණේර පඤ්හ – ඛුද්දක නිකාය
ද්වත්තිංසාකාරය – ඛුද්දක නිකාය
පච්චවෙක්ඛණා -අංගුත්තර නිකාය
දසධම්මසූත්‍රය –අංගුත්තර නිකාය
මහා මංගල සූත්‍රය – ඛුද්ධක නිකාය
රතන සූත්‍රය – ඛුද්දක නිකාය
කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දක නිකාය
ඛන්ධ පිරිත –අංගුත්තර නිකාය
මෙත්තානිසංස සූත්‍රය- අංගුත්තර නිකාය
මිත්තානිසංස සූත්‍රය – ඛුද්දක නිකාය
මෝර පිරිත – ඛුද්දක නිකාය
චන්ද පිරිත – සංයුත්ත නිකාය
සූරිය පිරිත – සංයුත්ත නිකාය
ධජග්ග පිරිත – සංයුක්ත නිකාය

දෙවැනි බණවර
මහා කස්සපථෙරබොජ්ක්‍ධංගය
සංයුත්ත නිකාය

මහා මොග්ගල්ලාන බොජ්ඣංගය
සංයුත්ත නිකාය

මහා චුන්දථෙර බෝජ්ක්‍ධංගය
සංයුත්ත නිකාය

ගිරිමානන්ද සූත්‍රය
අංගුත්තර නිකාය

ඉසිගිලි සූත්‍රය – මජ්ඣිම නිකාය

තෙවැනි බණවර
ආටානාටිය සූත්‍රය – දීඝනිකාය

සිව්වැනි බණවර
ආටානාටිය සූත්‍රය – දීඝනිකාය

අතිරේක බණවර
දම්සක් පැවැතුම් සූත්‍රය – සංයුත්ත නිකාය
මහා සමය සූත්‍රය – දීඝනිකාය
ආලවක සූත්‍රය – ඛුද්දක නිකාය
කසීභාරද්වාජ සූත්‍රය – ඛුද්දක නිකාය
පරාභව සූත්‍රය – ඛුද්දක නිකාය
වසල සූත්‍රය – ඛුද්දක නිකාය
සච්ච විභංග සූත්‍රය – මජ්ඣිම නිකාය

වර්තමානය වන විට චතුබාණවර පාලියෙහි දක්නට නොලැබෙන ඇතැම් පසුකාලීන සූත්‍ර ධර්මයන්ද පිරිත ලෙස යොදාගනු ලබයි. පිරිත වර්තමානයෙහි නොයෙක් ලෙස දේශනා කරවා ගනී. විශේෂයෙන් වතපිරිත, සෙත්පිරිත, වරුපිරිත, මහපිරිත සහ සතිපිරිත ආදි වශයෙනි. වත පිරිත යනු සාමණේරයන් වහන්සේ විසින් උදේ සහ සවස සිදුකරනු ලබන දේශනාවයි. ගෘහ ප්‍රවේශය ආදි කටයුතු වලදි ආශිර්වාද පිණිස කරනු ලබන දේශනය සෙත්පිරිතයි.අපල උපද්‍රව මඟහරවා ගැනීමට සහ සුබ කටයුතුවලදී වරුපිරිත සිදුකරගනු ලබයි. මෙය තුන්වරුවේ සිට හත්වරුව දක්වා සිදුකිරීම දැකිය හැකිය. එසේම භික්‍ෂූන් වහන්සේ විසින් මෙන්ම ගිහියන් විසින්ද පිරිත් දේශනා සිදු කරනු ලබන අතර කවුරු කෙසේ දේශනා කළත් පිරිත තුළින් බලාපොරොත්තු වන්නේ ආශිර්වාදය හා අභිවෘද්ධියයි. එය ලැබීමට නම් මහාකරුණාවෙන් සියලු දෙනාට ආශිර්වාදාත්මක ලෙස දේශනා කළ බුද්ධභාෂිතය වෙනස් නොකළ යුතුය

පිරිතෙහි අර්ථය දැන ගැනීම වැදගත්ය. එහෙත් දේශනයේදි පාලි සූත්‍ර ඒ අයුරින්ම සජ්ඣායනා කිරීම බලය, ගුණය ලැබීමට හේතුවකි. සියලු විපත්, සියලු රෝග, භූත දෝෂ සහ සිත් කැලැඹීම් ආදියට ඕනෑම මොහොතක පිරිතෙන් අස්වැසීම් ලැබිය හැකිය.

බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් වන කරුණාව, දයාව, මෛත්‍රිය පිරි වචන සමූහයක් නැවත නැවත කීම තුළින් කෙතරම් ශක්තියක් ලද හැක්කේද යන්න බුද්ධිමත්ව සිතන ඕනෑම කෙනකුට පැහැදිලි වේ

– කොල්ලුපිටිය වාලුකාරාමවාසී ගෞරව ශාස්ත්‍රවේදී සියඹලාගොඩ ධම්මින්ද හිමි

පිරුවාණා පොත්වහන්සේ භාගත කරගන්න

බාගතකර ගැනීම
IFBC Home Page