ධම්මපද ප්‍රදීපය (Dhammapada Pradeepaya) - IFBC Organization | Download

පගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත පතළ මහා කරුණාවෙන්මයි ශ්‍රී සද්ධර්මය වදාළේ. ශාස්තෘ ශාසනය වශයෙනුත් එය හඳුන්වනවා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් ඒ ශාස්තෘ ශාසනය අංග නවයකින් යුක්තයි.

ධම්ම පදයේ ඇතුළත් වන්නේ ‘ගාථා’ නම් වූ ශාස්තෘ ශාසනයයි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන්ගේ අරුත් අවබෝධ කරගෙන ඒ අනුව ජීවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත්මිදී ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකිය.

වරක් සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සඟරුවනත් ගැන ගුණ සඳහන් ගාථා කීපයක් පැවසීය. එහි එක් ගාථාවක කදිම දහම් පදයක් තිබේ.

“ඒකස්මිං බ්‍රහ්මචරියස්මිං – සහස්සං මච්චු හායිනං”
“එක දහම් පදයක මරු පරදවා සිටින රහතන් වහන්සේලා දහසක් වැඩඉන්නවා.”
(ස.නි. 01)

එය කොතරම් සැබෑවක්දැයි පෙනෙන්නේ ඉතා හොඳින් සිහි නුවණින් යුක්තව දහම් පද හදාරණ විටය. ‘ධම්මපදය’ තුළිනුත් ඔබට ඒ අසිරිමත් ගුණය දැක්ක හැකිය.

‘ධම්මපදය’ වර්ග හෙවත් කොටස් විසි හයකින් සමන්විතයි. ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා විසිනුයි එසේ කොටස් කරණ ලද්දේ.

පරම පිවිතුරු බුද්ධ වචනය පිළිවෙලකට සකස් කිරීමේදී ඒ උත්තම රහතන් වහන්සේලා විසින් දක්වන ලද කුසලතාව ආශ්චර්යයකි. උන්වහන්සේලා විසින් ඒ ඒ මාතෘකාවන්ට අනුව ඒ ඒ ගාථාවන් කොටස් කරණ ලදී.

යමක වර්ගය‘ ගාථා විස්සකින් යුක්තයි. එහි ඇතුළත්ව තිබෙන්නේ නොයෙක් තැන්වලදී භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවන් යම්කිසි ක්‍රමානුකූල පිළිවෙලකට යුගල වශයෙන් ගැළපීමෙනි. ‘යමක’ යනු යුගලයට කියන නමකි. එහි සිත ගැනත්, ජීවිතය ගැනත්, දහම් මාවත ගැනත් ඉතා අර්ථවත් දහම් කරුණු සඳහන්ව තිබේ. ධම්මපදය ආරම්භ වන්නේ මෙම යමක වර්ගයෙන්ය.

ඊළඟට ඔබට හමුවන්නේ ‘අප්පමාද වර්ගය‘යි. අප්‍රමාදය යනුවෙන් මෙහි අදහස් වන්නේ කුසල් දහම් රැස් කරගැනීම පිණිස කෙනෙකු තුළ තිබිය යුතු හදිස්සියයි. අකුසල් දුරු කිරීමටත්, කුසල් රැස් කිරීමටත් වීර්ය කරන්නේ ඒ හදිස්සිය නිසාය. බුදුවරයන් වහන්සේලා හැමවිටම අගය කරන්නේ අප්‍රමාදයයි. ප්‍රමාදයේ ආදීනවත්, අප්‍රමාදයේ ආනිසංසත් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා සුන්දර අයුරින් පහදා දෙන ආකාරය මෙම අප්‍රමාද වර්ගයෙන් ඉගෙන ගත හැකිය. මෙම වර්ගය ගාථා දොළොසකින් ප්‍රතිමණ්ඩිතයි.

සිත ගැන ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකි ආකාරයෙන් අපූරු ගාථාවලින් සමන්විත ‘චිත්ත වර්ගය‘ ඔබට හමුවෙන්නේ තුන්වන වර්ගය වශයෙනි. මෙය වනාහී ගාථාරත්නයන් එකොළොසක් ඇති ස්වර්ණමය මඤ්ජුසාවක් වැන්න. නොමඟ ගිය සිතේ අනතුරත්, සුමඟට ගත් සිතේ සැනසුමත් මේ ගාථාවලින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා මනහර ලෙස අපට පෙන්වා දෙන සේක.

සතර වැනි වර්ගය ‘පුෂ්ප වර්ගය‘යි. මල් උපමා කරමින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද උතුම් ගාථා රත්නයන් දහසයක් කියවීමේ භාග්‍යය ඔබට මෙම වර්ගයෙන් උදා වේ.

ඊළඟට හමුවන්නේ ‘බාල වර්ගය‘යි. මෙහි ‘බාලයා’ යනු කුඩා දරුවන්ට කියන නමක් නොවේ. ශ්‍රී සද්ධර්මයෙහි බාලයා වශයෙන් හඳුන්වන්නේ, පින් පව් නොහඳුනන, සත්පුරුෂයන් අසත්පුරුෂයන් නොහඳුනන, මඟ නොමඟ නොහඳුනන, සම්මා දිට්ඨිය මිථ්‍යා දෘෂ්ටිය නොහඳුනන, පෘථග්ජන පුද්ගලයාය. බාලයාගේ ප්‍රඥා රහිත මානසිකත්වයත්, පුහු අහංකාරකමත්, දුෂ්ටකමත් ගැන කදිම තොරතුරු රැසක් ගාථා දහසයකින් සමන්විත මෙම බාල වර්ගයෙන් ඉගෙන ගත හැකිය.

මහරහතන් වහන්සේලා විසින් තථාගත ශ්‍රී සද්ධර්මයට අයත් උතුම් ගාථා රත්නයන් පෙළ ගැස්වීමේදී ඊළඟට තෝරා ගන්නේ පණ්ඩිතයා පිළිබඳ ගාථාවන්ය. හයවැනි වර්ගය වන මෙම ‘පණ්ඩිත වර්ග‘යේ ගාථා දාහතරක් ඇතුළත්ය. මෙහි පණ්ඩිතයා යනු උපාධියක් දරණ පුද්ගලයෙකුට කියන නමක් නොවේ. රහතන් වහන්සේට කියන නමකි. ප්‍රඥා සම්පන්න සත්පුරුෂ උත්තමයාගේ ගුණත් එබඳු මහෝත්තමයන්ගේ ඇසුරේ වටිනාකමත් මහත් සේ අගය කරමින් අපගේ බුදු සමිඳාණන් විසින් ‘පණ්ඩිතයා’ව පෙන්වා දෙන අයුරු ඉතා මනහරය.

රහතන් වහන්සේ පිළිබඳ ඉතාමත් සුන්දර ලෙස හඳුන්වාදෙන ගාථා දහයකින් යුක්ත හත්වන වර්ගය ඊළඟට ඔබට හමුවේ. එය හඳුන්වන්නේ ‘අරහන්ත වර්ගය‘ නමිනි. මෙවන් යුගයක පවා අපට ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන මෙපමණකින් හෝ දැනගන්නට ලැබීම කොතරම් භාග්‍යයක්ද?

දහස බැගින් විස්තර වන කරුණු ඇතුළත් ගාථා දහසයකින් යුක්ත අට වන ‘සහස්ස වර්ගය‘ට දැන් ඔබ පිවිසේ. එමෙන්ම සියය වශයෙන් ගෙන වදාළ ගාථාවන්ද ඔබට මේ තුළින් කියවිය හැකිය. ධර්මානුකූල ජීවිතයක වටිනාකම හඳුනාගැනීමට මෙයම කෙනෙකුට ප්‍රමාණවත්ය.
පාපය යනු දුරු කළ යුතු දෙයකි. සියලු බුදුවරයන් වහන්සේලා අනුශාසනා කරන්නේද සියලු පවින් දුරුවීමටය. පවේ ස්වභාවයත්, අඥාන ජනයා පවට ඇලුම් කරන ආකාරයත්, එහි භයානක ප්‍රතිවිපාකත් ගැන අපගේ බුදු සමිඳාණන් වදාළ ගාථා රත්නයන් දහතුනකින් ප්‍රතිමණ්ඩිත ‘පාප වර්ගය’ ධම්මපදයේ ඇතුළත්ව තිබෙන්නේ නව වන වර්ගය වශයෙනි.

ඊළඟට හමුවන්නේ ‘දණ්ඩ වර්ගය‘යි. දණ්ඩ යනු දඬුවමයි. දඬුමුගුරුවලටද දණ්ඩ යයි කියනු ලැබේ. ප්‍රඥා රහිත පුද්ගලයා නිරයේ උපත දක්වාම තම දඬුවම ලබාගන්නා අයුරුත් සියලු පවින් වෙන් වෙන භික්ෂුව නිවනින් සැනසෙන අයුරුත් ගාථා දාහතකින් යුක්ත මෙම දණ්ඩ වර්ගයෙන් කදිමට දැක්වේ.

වයසට ගොස් ජරා ජීර්ණත්වයට පත්වීම උපතත් සමඟ කෙනෙකුට ලැබෙන දුක්ඛිත ඉරණමකි. මේ යථාර්ථය අවබෝධ කරගන්නා ප්‍රඥාසම්පන්න ආර්ය ශ්‍රාවකයා ජරා මරණ රහිත අමා නිවන කරා යන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරයි. ඒ ගැන අවබෝධය ඇතිවෙන ගාථා එකොළොසකින් යුක්ත ‘ජරා වර්ගය‘ ඔබට කියවන්ට ලැබෙන්නේ එකොළොස්වන වර්ගය වශයෙනි.

ධම්ම පදයේ මාතෘකා පිළිවෙල ගොනු කර තිබෙන ආකාරය ඉතාම සුන්දරය. ඊළඟට ඔබට හමුවන්නේ තමා ගැන කියැවෙන උතුම් ගාථා දහයකි. එය හඳුන්වන්නේ ‘අත්ත වර්ගය‘ නමිනි. ඉතාමත් වගකීමෙකින් යුක්තව තමාව සුරක්ෂිත කරගැනීමේ භාරදූර කාර්යභාරය පැවැරී තිබෙන්නේ තමාටම බව මැනැවින් පෙන්වා දෙන මේ උතුම් ගාථාවන් අප දැනගෙන සිටිය යුතුමය.

අපගේ බුදු සමිඳුන් විසින් ලෝකය ගැන වදාළ ගාථා රත්නයන් දොළොසක් ඇතුළත් ‘ලෝක වර්ගය‘යි ඔබට ඊළඟට හමුවන්නේ. ජීවිතය නම් වූ ලෝකය අවබෝධ කරගැනීමට ඔබට මෙම උතුම් ගාථාවන් ඉවහල් වනු නිසැකය.

දාහතර වන වර්ගය වශයෙන් අපට හමුවන්නේ ‘බුද්ධ වර්ගය‘යි. මෙහි උතුම් ගාථාවන් දහඅටක් ඇතුළත් වේ. සම්බුදුරජාණන් වහන්සේලා ගැන බුදු සමිඳාණන් විසින්ම වදාරණ ලද රමණීය තොරතුරු ඔබට මෙම බුද්ධ වර්ගයෙන් ඉගෙන ගත හැකිය.

සැපයට කවුරුත් කැමැතිය. බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වන්නේම ලෝක සත්වයා දුකින් නිදහස් කොට සැපත කරා රැගෙන යාම පිණිසය. සැපය යනු කුමක්දැයි ඉතාම නිවැරදි ලෙස තේරුම් ගැනීමට උපකාරී වන උතුම් ගාථාවන් දොළොසකින් යුතු ‘සුඛ වර්ගය‘ කියවීමේ භාග්‍යය ඔබට උදාවන්නේ පසළොස්වන වර්ගය වශයෙනි.

ලෝකයේ ඉතාම ප්‍රියමනාප පුද්ගලයා කවරෙක්දැයි දැනගැනීමටත්, ඉතාමත් ප්‍රියමනාප පරිද්දෙන් තමන්ට පුණ්‍ය විපාක පල දෙන ආකාරය දැනගැනීමටත් ඊළඟට හමුවන ‘පිය වර්ගය‘ කියවිය යුතුය. මෙහි ඇතුළත් ගාථාවන් සංඛ්‍යාව දොළොසකි.

ක්‍රෝධය යනු ඉතාම භයානක දෙයකි. එවන් භයානක දෙයක් තම සිත තුළ රඳවාගෙන සිටීමෙන් අනතුරු සිදුවන්නේ තමාටමය. ඒ නිසා සිත, කය, වචනය සංවර කරගෙන ක්‍රෝධය පරදවා දැමිය යුතු ආකාරය කදිමට පෙන්වා දෙන උතුම් ගාථාවන් දාහතරකින් යුතු ‘කෝධ වර්ගය‘ ඔබට ඊළඟට කියවිය හැකිය.

අපගේ බුදු සමිඳාණන් විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ගාථා විසිඑකකින් යුක්ත ‘මල වර්ගය‘ ඊළඟට හමුවේ. මල යනු මලකඩය. සද්ධර්මයේ සඳහන් වන්නේ කෙලෙස් මලකඩ ගැනය. ඒ කෙලෙස් මලකඩ දුරු කරගත යුතු ආකාරය මෙහි කදිමට විස්තර වේ.

ඊළඟට දහනව වන වර්ගය වශයෙන් හමුවන්නේ ‘ධම්මට්ඨ වර්ගය‘යි. මෙහි ඇතුළත් ගාථාරත්නයන්ගේ සංඛ්‍යාව දාහතකි. ධර්මයේ පිහිටි ජීවිතය ගැන ඉතා සුන්දර තොරතුරු රැසක් මේ ගාථාවන්ගෙන් අපට ඉගෙන ගත හැකිය.

ඒ අමා නිවන කරා යාමට ලෝකයේ තිබෙන්නේ එකම එක මාර්ගයකි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ උතුම් නිවන් මඟ පිළිබඳ අපූර්ව අර්ථ විවරණයන් ගෙන් යුක්ත ගාථා රත්නයන් දාහතකින් යුක්ත ‘මග්ග වර්ගය‘ කියැවීමෙන් ඔබට දැනගත හැකිය.

විසි එක්වන වර්ගය වශයෙන් අපට ධම්මපදයෙන් හමුවන්නේ ‘පකිණ්ණක වර්ගය‘යි. පකිණ්ණක යනු විවිධ මාතෘකාවන්වලට අයත් ගාථාවන් එක් රැස් කොට සකස් කළ කොටස හැඳින්වීමට යොදන නමකි. මෙහි ගාථාවන් දහසයක් තිබේ. ඉතාම පිවිතුරු සදහම් අරුත් රස වැගිරෙන උතුම් ගාථාවන් කියැවීමෙන් ජීවිතයට අපමණ යහපතක් උදා කරගත හැකිය.

අසත්පුරුෂ පාපී පුද්ගලයන්ගේ ජීවිතය බොහෝ විට නිමා වන්නේ නිරා දුකට පත්වීමෙනි. එනිසා පාපය, අධර්මය, දුෂ්ටකම, අදමිටුකම දුරුකළ යුතුමය. ඒ සඳහා අප කවුරුත් කියවිය යුතු මහානීය ගාථා රත්නයන් දාහතරක් ‘නිරය වර්ග‘යෙන් හමුවේ. මෙම වර්ගය ධම්ම පදයේ විසිදෙවෙනි වර්ගයයි.

නාග යනු හස්තිරාජයාට කියන නමකි. හස්තිරාජයා උපමා කොට අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ගාථා ඇතුළත් කොටස ‘නාග වර්ගය‘ නම් වේ. මෙහි ගාථා දාහතරකි.

සංසාර දුකට මුල් වූ හේතුව තණ්හාවය. ඒ තණ්හාව අයිති වන්නේ ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ආර්ය සත්‍යයටයි. ඒ තණ්හාව පිළිබඳ නොයෙක් ආකාරයෙන් වදාළ ගාථා විසිහයක් ‘තණ්හා වර්ග‘යෙන් අපට හමුවේ. තණ්හාව ප්‍රහාණය කරගැනීම පිණිස අපිත් ඒ ගාථා තුළින් මතුවෙන අර්ථ අවබෝධ කරගනිමු.

ධම්මපදයේ විසිපස් වන වර්ගය ‘භික්ඛු වර්ගය‘යි. මෙම භික්ෂු වර්ගයේ ගාථා විසිතුනක් තිබේ. සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගත් රහතන් වහන්සේ යනු සැබෑම භික්ෂුවයි. බුදු සසුනක සිටින භික්ෂුව කවරෙක්දැයි හඳුනාගැනීමට භික්ෂු වර්ගයෙන් ලැබෙන්නේ අපමණ පිටුවහලකි.

අවසාන වර්ගය වශයෙන් ධම්මපදයෙන් හමුවන්නේ ‘බ්‍රාහ්මණ වර්ගය‘යි. බ්‍රාහ්මණයා යනු බුද්ධ කාලයේ සමාජ තලය තුළ ජීවත් වූ උසස් පුද්ගලයාය. අපගේ බුදු සමිඳාණන් ජීවිතයක උසස්කම මනින්නේ උපතින්, ධනයෙන්, බලයෙන් හෝ උගත්කමින් හෝ නොවේ. ජීවිතයක ගොඩ නගාගන්නා ගුණධර්ම වලිනි. එනිසාම උන්වහන්සේ බ්‍රාහ්මණයා යන වචනය රහතන් වහන්සේට යෙදූ සේක. අරහත් භික්ෂුව හඳුන්වාදීම පිණිස බ්‍රාහ්මණ යන වචනය ඉතාමත් අර්ථවත් ලෙස භාවිත කරමින් අපගේ බුදු සමිඳුන් වදාළ ගාථා හතළිස් එකක් මෙම බ්‍රාහ්මණ වර්ගයෙන් හමුවේ.

ධම්මපදයට ඇතුළත් මුළු ගාථා සංඛ්‍යාව හාරසිය විසිතුනකි. ඔබත් මේ ධම්මපදයේ උතුම් ගාථාවන් අර්ථ සහිතව ඉගෙන ගන්න. තමන්ගේ ජීවිතය අවබෝධ කරගැනීම පිණිස භාවිතයට ගන්න. පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ අමා දහම් රස අත්විඳින්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ධම්මපදය භාගතකරගන්න.

බාගතකර ගැනීම
IFBC Home Page