බුත්සරණ (Buthsarana) - IFBC Organization | Download

පැරණි සිංහල සාහිත්‍ය කෘති අතුරෙහි එන අගනා ගද්‍ය කාව්‍යයක් නම් බුත්සරණ යි. මේ ග‍්‍රන්ථය ලියැවුණු කාලය නිශ්චිත ව හඳුනා ගත නො හැකි වුව ද භාෂා විලාසය ආදී වූ කරුණු අනුව දඹදෙණි යුගයේ දී ලියැවෙන්නට ඇති බැව් පිළිගැනේ.

කාල වකවානුව කෙසේ වෙතත් කතුවරයාණන් පිළිබඳ පැහැදිලි සටහනක් ග‍්‍රන්ථාවසානයේ දකින්නට පිළිවන. ‘විද්‍යාචක‍්‍රවර්තීන් විසින් කළ අමෘතාවත නම් බුද්ධ චරිතය නිධි’ යන එකී පාඨයෙන් කරුණු කීපයක් ම අනාවරණය වේ.

එනම්, කතුවරයාගේ නාමය, විද්‍යාචක‍්‍රවර්ති බවත් කතුවරයා මේ ග‍්‍රන්ථයට තැබූ නාමය ‘අමෘතාවත’ බවත් කතුවරයාගේ අභිප‍්‍රායය වූයේ බුද්ධ චරිතය වර්ණනය කිරීම බවත් යන කාරණා ය.

අමාව පැමිණවීම හෙවත් අමා රසය ගෙන දීම යන අර්ථය පළ කරමින් අමෘතාවත (අමෘත+ආවත) යන ග‍්‍රන්ථ නාමය යෙදී ඇත්තේ ය. එහෙත් එකී නාමය හෝ බුද්ධ චරිතය යන්න හෝ ව්‍යවහාර නො වී බුත්සරණ යනුවෙන් මේ කෘතිය ප‍්‍රචලිත ව පවත්නේ මෙහි සෑම ග‍්‍රන්ථාංශයක් අවසානයෙහි ම කියැවෙන ‘බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු’ යන පාඨය හේතු කොට ගෙන ය.

මේ අනුව කතුවරයා අප‍්‍රමාණ වූ බුද්ධ භක්තියෙන් යුක්ත ව බුදුන් සරණ යෑමේ උතුම් බව ප‍්‍රකට කරමින් ග‍්‍රන්ථය රචනා කොට ඇති බැව් පැහැදිලි වේ. ඒ අනුව ග‍්‍රන්ථකරණය උදෙසා අරමුණු වී ඇත්තේ බුදුරදුන් කෙරෙහි වූ අපරිමිත ශ‍්‍රද්ධාවත් ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ මහිමය උවසු උවැසියන් වෙත පහදා දීමේ කරුණාධ්‍යාශයත් බව සිතිය හැකිය. ඒ හැරුණු විට මේ සඳහා වූ වෙනත් ආරාධනයක් හෝ බාහිර පෙලැඹවීමක් හෝ සඳහන් නො වේ.

’විද්‍යාචක‍්‍රවර්ති’ යනු කතුවරයාණන් ගේ පුද්ගලික නාමය නො ව උපාධි නාමයක් විය යුතුª බව එහි ස්වරූපයෙන් ම හැඟේ. ථූපවංශය ද මේ කතුවරයාණන් ගේ ම කෘතියකැයි ද එහි දැක්වෙන ‘සකල විද්‍යාචක‍්‍රවර්ති පණ්ඩිත පරාක‍්‍රම’ යන්න මෙතුමන්ගේ සම්පූර්ණ නාමය බව ද බොහෝ දෙනාගේ පිළිගැනීම යි.

නිකාය සංග‍්‍රහයේ දැක්වෙන පඩිවරුන් අතුරෙහි මයුරපාද ධර්මසේන, ගුරුළුදැමි ආදී වූ නම් සමඟ පරාක‍්‍රම පණ්ඩිත යන නාමය ද දකින්නට පිළිවන.

බුත්සරණ යනු සරණ ග‍්‍රන්ථත‍්‍රයේ ප‍්‍රථම ග‍්‍රන්ථය යි. එය අමෘතාවත ප‍්‍රථම භාගය ලෙස ද ඇතැම්හු සලකති. ‘බුත්සරණ යා යුතු’ යනුවෙන් අවසන් වන ඡේද හෝ කථාවස්තු හෝ සංඛ්‍යාව ගෙන බලද්දී මේ කෘතිය ග‍්‍රන්ථාංශ 481 කින් සමන්විත වන්නේ ය. එහෙත් ඒ හැම කොටසක් ම එක හා සමාන නො වේ. ඇතැම් කොටසක් එක් වාක්‍යයකින් හෝ ඡේදයකින් හෝ අවසන් වෙද්දී ඇතැම් කොටසකට අති දීර්ඝ විස්තරයක් අන්තර්ගත ය.

උදාහරණයක් සේ ගත හොත් 56 වැනි අංකය ‘යහපත් වූ ගමන් ඇති බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු’ යන වැකියට පමණක් සීමා වේ. එහෙත් ඇතැම් කොටසක් පිටු ගණනාවකින් යුක්ත ය.

බුත්සරණ ආරම්භ වන්න් ‘සුවයෙහි මිහිරි දන්නා, දුක්හි දැඩිකම් දන්නා, සදෙව්ලොවෙහි සැපක් අයත්නයෙන් විඳුනා කැමැති, බුදු පසේබුදු මහරහතුන් විඳි නිවන්පුර වැදැ සැනසෙනු කැමැති, නිරෑහි නම් නො අසනු කැමැති, තිරිසන් යෝනියෙහි හකුල් හෙලනු කැමැති, පෙ‍්‍ර්ත වැ වින්ද යුතු වසම් පිටු දන්නා කැමැති…’ ආදී වශයෙන් වූ දීර්ඝ ඡේදයකිනි. එයින් ම කතුවරයාගේ බස හැසිරවීමේ විලාසයත්, ඔහුගේ ධර්ම දේශනා රීතියත්, ග‍්‍රන්ථ රචනයෙහි අභිප‍්‍රායයත් වැනි බොහෝ කරුණු වටහා ගැනීමට හැකි වේ.

හැම අංකයක් අවසානයෙහි ම දැක්වෙන ‘බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු’ යනුවෙන් පුන පුනා ප‍්‍රකාශ කිරීම කතුවරයාගේ අරමුණ මුදුන්පත් කොට ශ‍්‍රාවකසිත් සැනහීමටත්, ශාන්ත රසය උද්දීපනය කිරීමටත් සමත් වන යෙදුමක් සේ දැකිය හැකි ය. ‘බුදුසරණ’ යන්න නිරන්තරයෙන් ‘බුත්සරණ’ යනුවෙන් ම යෙදීම මේ කෘතියෙහි එන විශේෂ ලක්ෂණයකි.

බුත්සරණ අනෙකුත් ධර්ම ග‍්‍රන්ථ මෙන් සම්පූර්ණ පරිවර්තන ලීලාවෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් නො වේ. එහෙත් මේ රචනාව උදෙසා පාලි අට්ඨකථා බෙහෙවින් මූලාශ‍්‍රය කොට ගෙන තිබේ.

ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා, විමානවස්තු පෙ‍්‍ර්තවස්තු වර්ණනා ආදී කෘති පමණක් නොව දීගනිකායා දී වූ පිටක ග‍්‍රන්ථ ද මේ උදෙසා පිහිට කොට ගෙන ඇත්තේ ය. එහි දී උචිතානුචිත පරිද්දෙන් කථා වස්තූන් ද ධර්ම කොට්ඨාස ද ආදී වශයෙන් බුද්ධාලම්භන ශ‍්‍රද්ධාව වර්ධනය කෙරෙන අයුරින් කරුණු ඒකරාශී කිරීම කතුවරයාගේ වෑයම වී ඇත. මෙහි අන්තර්ගතය පිළිබඳ විමසීමේ දී පරිච්ඡේද වශයෙන් ගත් කල්හි කොට්ඨාස පහළොවකට වර්ග කෙරෙනු දැකිය හැකි ය.

ඒවා නම්, ප‍්‍රකීර්ණක කථා, ලෝක විවරණ, අංගුලිමාල, නාලාගිරි, නන්දෝපනන්ද, තීර්ථක දමන, ජටිල, ආලවක, ගංගාරෝහණ, මණ්ඩුක දිව්‍ය පුත‍්‍ර, සච්චක, බකබ‍්‍රහ්ම, පටාචාර, මිශ‍්‍ර කථා සහ වෙස්සන්තර ජාතකය යනුවෙන් වූ විස්තර වර්ණනාවන් ය. මේ හැම කථා වස්තුවකින්ම බුද්ධ චරිතයේ ශ්‍රේෂ්ඨ භාවය විදහා දැක්වීම කතුවරයාගේ පරමාර්ථය වී තිබේ.

ග‍්‍රන්ථයේ අවසාන කොටස වූ වෙස්සන්තර ජාතක පුවත මේ අරමුණ මත කුමන හේතුවකින් ඇතුළත් කළේ ද යන්න පැහැදිලි නොමැති කරුණකි. ඇතැම් විට ඒ කොටස පසු කාලයක එකතු වූවා දැයි සැක පහළ වේ.

විද්‍යා චක‍්‍රවර්තීහු ඇතැම් විට ඉතා දීර්ඝ වාක්‍යවලින් ද ඇතැම් විට ඉතා කෙටි වාක්‍යවලින් ද යුක්ත ව තම කාර්යයට සුදුසු පරිදි භාෂාව සකස් කොට ගෙන අවස්ථා නිරූපණය කිරීමේ සාමාර්ථයක් දක්වති. නාලාගිරි දමනයෙහි එන උච්චතර අවස්ථාව කතුවරයාණන් ප‍්‍රතිනිර්මාණය කොට ඇත්තේ මෙලෙසිනි:

”ඈත ධූලියෙන් වැසී ගිය ඇත් රජයැ. මෑත සවනක් ඝන බුදුරැසින් සෑදී ගිය බුදුරජාණන් යැ. ඈත කෝපයෙන් රත් වැ ගිය යවටක් වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත් ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝ යැ. ඈත එබු එබූ පයින් මහ පොළොව පළා වියන්නාක් මෙන් දිවන ඇත් රජයැ.

මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩිනා බුදුරජාණෝ යැ. ඈත බැලු බැලූවන් අනේ, අනේ, කියවන ඇත් රජාණෝයැ. මෑත බැලූ බැලූවන් සාධු සාධු කියවන බුදුරජාණෝයැ…’ මෙවැනි ශ‍්‍රාවක සිත්හි විචිත‍්‍ර චිත‍්‍ර මැවීමේ සමත් වන විද්‍යාචක‍්‍රවර්තීහු කෘතිය පුරා ම සිය ප‍්‍රතිභාව සහිත වූ කවීත්වය පළ කරති.

තව ද මනරම් වූ උපමාවලින්ද මේ කෘතිය අලංකෘත ව පවතී. ‘බැලු බැලූවන්ට නවබගසඳක් මෙන් මිහිරි වන්නා කැමැති, පියුම් ඇති තාක් කල් විල්හි කෙළනා රන හංසයක්හු සේ, මතැතක්හට හුසි ගන්වන කුකුරු බිලිදක්හු සේ’ ආදී වශයෙන් විවිධ විලාසයෙන් අර්ථ නිරූපණය පිණිස උපමාමය යෙදුම් පිටිවහල් කොට ගෙන ඇත්තේ ය.

අංගුලිමාල දමනයෙහි එන අංගුලිමාල සොරුගේ මුවට නංවා ඇති වදන් විද්‍යාචක‍්‍රවර්තීන්ගේ ලේඛන චාතුර්යය අපූර්වත්වයෙන් පළ කරන අවස්ථාවකි. ‘දනිමි ස්වාමීනි, හැඳින්නෙමි ස්වාමීනි! …. ගැත්තවු කරන පව් ස්වාමීන් ඇසට පැණිනි ද? මෙතෙක් තැන් වැඩියේ ගැත්තවු කෙරෙහි කළ කරුණායෙන් ද? දිනි පමණින් සරණ වන්මි. ඇස නිවී ගියේයැ. සිත සැනහී ගියේ යැ. කළ පව් ගෙවී ගියේ යැ. ගැත්තවුට කරුණා කොට වදාළ මැනව..’ ධර්ම කරුණු හැරුණු විට තවත් බොහෝ විචිත‍්‍ර විස්තරවලින් දැනුම් සම්භාරයක් කෘතියට එක් කිරීමට කතුවරයා තැත් දරා ඇත්තේ ය. ලෝක විවරණ කාණ්ඩයේ දී සක්වළ, මහමෙර, හිමාලය, අනෝතත්තවිල ආදී වූ තොරතුරු පමණක් නො ව තව්තිසාව, විජයොත්පාය, ඓරාවණ ඇතු, නන්දන වනය සුදම් සභාව ඇතුළු බොහෝ විස්තර ද සංග‍්‍රහ කිරීමට කතුවරයාගේ අවධානය යොමුව ඇත්තේ ය.

අමාවතුර වැනි ග‍්‍රන්ථවල ලුහුඩින් දක්වන ඇතැම් දෑ සවිස්තර ව වර්ණය කිරීම බුත්සරණේ දැක්වෙන විශේෂ ලක්ෂණයකි. බුත්සරණ පැහැදිලි වූත් මිහිරි වූත් භාෂා විලාසයකින් කරුණු පහදා දෙන ධර්ම ග‍්‍රන්ථයක් මෙන් ම රසයෙන් පරිපූර්ණ සාහිත්‍ය ග‍්‍රන්ථයක් ද වේ. – ආචාර්ය  පේ‍්‍රමදාස ශී‍්‍ර අලවත්තගේ

බාගතකර ගැනීම
IFBC Home Page