දළදා පූජාවලිය (The Book of Dalada Pujavaliya ) - IFBC Organization | Download

පාලි දාඨාවංශය සිංහලට නගමින් ලියැවුණු තවත් පොතක් කුරුණෑගල සමයේ ම රචනා වී තිබෙනු දකින්නට පිළිවන. එනම්, දළදා පූජාවලිය යි. දළදා සිරිතත් දළදා පූජාවලියත් එක ම වකවානුවක දී නිර්මාණය වූ වග පැහැදිලි වන නමුත් කුමක් පළමු ව ලියැවිණි ද කුමක් පසු ව ලියැවිණි ද යන්න නිශ්චය කිරීම අසීරු ය. ඇතැම් විට මේ කෘති දෙක ම සමකාලීන ව ලියැවෙන්නට ඇතැයි ද අනුමාන කළ හැකි ය. මෙහි එන ‘… හස්තිගිරිපුර නිවාසී ශ්‍රද්ධ බුද්ධි සම්පන්න… අපගේ ශ්‍රී පරාක්‍රමබාහු මහරජාණෝ… ‘ යනුවෙන් වන සඳහන පරිදි මේ කෘතිය ද දළදා සිරිත මෙන් ම සිව් වැනි පරාක්‍රමබාහු හෙවත් දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයේ ම ලියැවී තිබේ.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා වූ පූජා වැල හෙවත් පූජා මාලාව යන අර්ථයෙන් දළදා පූජාවලිය යන්න යෙදී තිබේ. මෙය කතුවරයාණන් විසින් ම කෘතියට දෙන ලද නාමය බැව් පෙනේ. එහෙත් මේ කතුවරයාණන් කවුරුන් ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වන්නේ නැත. මෙහි ග්‍රන්ථාරම්භ ඡේදයෙහි දැක්වෙන ‘… භුවන හිතකර භුවනෛකබාහු මනුරාධිප ධුරන්ධර… සෙන්නන්රාමාත්‍ය අලගක්කෝනාර ජයසිංහ ප්‍රතිරාජ සමීරිත නාම ප්‍රසිද්ධ අග්‍රාමාත්‍යයන් තුන් දෙනා හට සංජනිත පුණ්‍ය සම්භාර ප්‍රධාන කොට කියනු යැ’ යනුවෙන් වූ සඳහන මෙන් ම ග්‍රන්ථාවසානයෙහි දී එන රජවරුන්ගේ විස්තර ද අනුව මේ කතුවරයා සිව් වැනි පරාක්‍රමබාහු රජුගේ පියාණන් වූ දෙවැනි භුවනෙකබාහු (ව්‍ය. ව. 1293 – 1303) රජුගේ කාලයේ ද වාසය කළ අයෙකැයි සිතන්නට ඉඩ ඇත. ඒ රජුගේ අමාත්‍යවරුන් වූ අලගක්කෝනාර, ජයසිංහ සහ ප්‍රතිරාජ යන ප්‍රභූන් තිදෙනාගේ ආරාධනයෙන් හෝ එසේ නැත හොත් ඒ තිදෙනාට පින් අනුමෝදන් කිරීමේ අදහසින් හෝ මේ කෘතිය කරන්නට ඇති බව මෙකී ඡේදය අනුව වටහා ගත හැකි ය. මේ ලේඛකයා පාලි දාඨාවංශය ලියූ ධර්මකීර්ති හිමිපාණන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරේ කෙනෙකුන් විය හැකි යැයි ද අදහස් කෙරේ.

දළදා පූජාවලිය කෘතියෙහි පරිච්ඡේද වෙන් කර තිබීමක් දැකිය නො හැකි ය. පරිච්ඡේද තබා ඡේද වෙන් කිරීම පිළිබඳ ව වුව ද කතුවරයා එතරම් අවධානයක් යොමු කොට ඇති බවක් නො පෙනේ. වාක්‍ය වෙන් කිරීම ගැන වූ සැලකිල්ල ද එවැනි ය. මුළු මහත් කෘතියෙහි ම අවසාන ක්‍රියාවලින් වාක්‍ය අවසන් වී ඇති අවස්ථා ගණන අල්ප ය. බොහෝ සෙයින් පූර්ව ක්‍රියා, කාලාර්ථ ක්‍රියා ආදියෙන් වාක්‍ය එකිනෙකට සම්බන්ධ කොට ගත් දීර්ඝ ඡේදවලින් යුක්ත රචනා විලාසයක් අනුගමනය කර තිබීම මේ පොතේ දැකිය හැකි විශේෂත්වකි. පාලි ගාථා සෘජුවම සිංහලට නැගීමට දැරූ වෑයමෙන් මේ ගද්‍ය රටාව සකස් වී ඇති බැව් සිතන්නට පිළිවන.

මෙහි අන්තර්ගතය සුමේධ තාපස පුවත, බුද්ධ චරිතය, දළදා වහන්සේ, දඹදිව දී දළදා වහන්සේ පෑ ප්‍රාතිහාර්ය සහ දඹදිව දළදා ඉතිහාසය, දළදා ලක්දිව වැඩම කරවීම සහ දළදා වහන්සේ ලක්දිව දී පෑ ප්‍රාතිහාර්ය, ලක්දිව රජුන්ගේ දළදා පූජා ඉතිහාසය යන කරුණුවලින් යුක්ත වේ. මෙය දාඨාවංශයේ පරිවර්තනයක් වුව ද මෙහි මුල් කොටසින් දැක්වෙන සුමේධ තාපස කථාව සහ බුද්ධ චරිතය කතුවරයාණන් විසින් අලුතෙන් ලියා එකතු කරන ලද්දේ වෙයි. ඒ සඳහා වෙනත් පාලි කෘති ආශ්‍රය කොට ගෙන තිබේ. එහෙත් එයින් අනතුරු ව කරුණු පැවසෙන්නේ පාලි දාඨාවංශයට අනුකූලව ය.

දළදා පූජාවලිය ඇරැඹෙන්නේ, ‘සද්ධර්මවර චක්‍රවර්ති වූ ධර්මරාජයන් වූ දසබලධාරී වූ තෛ‍්‍රලෝක්‍ය ස්වාමී වූ අනන්‍ය සාධාරණ වූ ද්වාත්‍රිංශද්වර මහා පුරුෂ ලක්ෂණාශිත්‍යනුව්‍යංජන ව්‍යාමප්‍රභා කේතුමාලාලංකාරයෙන් විරාජමාන වූ අප බුදුරජාණන් වහන්සේ සර්වඥ….. ප්‍රතිලාභයට පූර්වාරම්භ කොට සංසාරයෙහි සැරිසරා ඇවිදිනා සේක්, යටගිය දවස බ්‍රහ්මදේව නම් බුදු කෙනෙකුන්ගේ ශ්‍රී පාද මූලයෙහි පටන්…’ යනුවෙනි. මේ දීර්ඝ වාක්‍ය ඛණ්ඩය දෙස අවධානය යොමු කිරීමෙන් වුව මේ කෘතියේ භාෂා ශෛලියක් ලේඛන පිළිවෙතක් පිළිබඳ අවබෝධ කොට ගත හැකි වේ. මේ යුගයේ වැඩෙමින් ආ සංස්කෘත පද බාහුල්‍යයෙන් යුක්ත සිංහල භාෂාව පිළිබඳ සමකාලීන අනෙකුත් ග්‍රන්ථ මෙන් ම මේ කෘතිය ද සාක්ෂ්‍යයක් සේ දකින්නට පිළිවන.

දළදා සිරිත වෘත්තගන්ධි ශෛලියෙන් නව ගද්‍ය විලාසයකට අනුගත වෙද්දී දළදා පූජාවලිය ද දීර්ඝ වාක්‍යවලින් සමන්විත නව විලාසයක් අත්හදා බැලීමට පෙලැඹී ඇතැයි සිතිය හැකි ය. කතුවරයා විසින් අලුතෙන් ලියා එකතු කරන ලද කෘතියේ මුල් කොටසෙහි පවා තැනින් තැන පාලි ගාථා ද ඇතුළත් කරමින් වගන්ති එකිනෙක පුරුද්දා ඇති ආකාරය මෙසේ ය. ‘… පාරමී ධර්මයන් කුළු ගන්වා ඒ ආත්ම භාවයෙන් චුත ව තුසී පුරයෙහි ඉපිද එහි ආයු පමණින් වැස දෙව් බඹුන් විසින් – (ගාථාව)… යනාදීන් ආරාධනා කළ කල්හි පස් බැලුම් බලා එදෙව්ලොවින් චුත වැ කිඹුල්වත් නුවර – (ගාථාව)… යනාදීන් ඔදන නාමයෙන් පංච ප්‍රකාර වූ රජදරුවන් අතුරෙන් සුදොවුන් මහරජහු පිණිස මහාමායා රදූන් කුස පිළිසිඳ සම්පූර්ණ වූ දස එකඔ මසක් වැස – (ගාථාව)… යනාදීන් මව් කුසින් බිහි ව…’ මෙසේ වූ මේ මුල් කොටස රචනා කිරීම සඳහා මහාවංශය, දීපවංශය, ජිනාලංකාරය, ම්නාලංකාර වණ්ණනාව, රසවාහිනි වැනි කෘතීන් උදව් කොට ගෙන ඇති බව ඒවායේ උද්ධෘත මෙහි ඇතුළත් කර තිබීමෙන් ම සනාථ වේ.

යම් යම් තොරතුරු දැක්වීමේ දී නිරන්තර ව පාලි ගාථා ඇතුළත් කොට ඒ ඒ කරුණු අවධාරණය කිරීමට වෑයම් කිරීම මෙහි විශේෂයෙන් දකින්නට ලැබේ. දළදා සිරිත එවැනි පිළිවෙතක නො පිහිටා ම රචනා කර ඇති බැවින් දෙ පොත දෙස බැලීමේ දී මේ වෙනස කැපී පෙනෙයි. එසේ වුව ද හඬ නගා කියැවිය හැකි ආකාරයෙන් සහ එසේ කියනු අසා වින්දනය කළ හැකි අයුරින් දළදා පූජාවලිය රචනා වී තිබේ. නො රැඳී ගලා යන ජල ප්‍රවාහයක් පරිද්දෙන් එක දිගට ම මේ රචනය ගලා ගෙන යනු දකින්නට පිළිවන.

මේ කෘතියේ පශ්චාද් භාගයෙහි සිංහල රජවරුන් දළදා පූජාවෙහි නියුතු වූ අයුරු පැහැදිලි කරද්දී දුර්ලභ ඓතිහාසික තොරතුරු කීපයක් ද අනාවරණය කෙරෙනු පෙනේ. දළදාව සහ පාත්‍ර ධාතුව සොළීන් විසින් පැහැර ගෙන යෑමේ සිද්ධිය එවැන්නකි. ‘… දළදා පාත්‍ර ධාතූන් වහන්සේ හා මිණිබෙර ශ්‍රී ලංකාද්වීපයෙන් ඇර ගෙන සොළී පුරයට ගොස් එහි දීර්ඝ කාලයක් අතික්‍රම ව… සොළීන් හා යුද්ධ කොට දළදා පාත්‍ර ධාතූන් වහන්සේ හා මිණි බෙර ලංකාවට වඩා ගෙන වුත්…’ යනුවෙන් ඒ පුවත දැක්වේ. මෙහි කියැවෙන පරිදි මෙය අනුරාධපුර යුගයේ අවසන් භාගයේ දී පමණ සිදු වූවක් බව පෙනෙන හෙයින් මෙය වෙනත් මූලාශ්‍රයයන් හි නො එන වැදගත් තොරතුරකි. තව ද මේ පුවතෙහි එන මෙරට අගනා වස්තුවක් ව තිබූ ‘මිණිබෙරය’ පිළිබඳ කරුණු වෙනත් කිසිදු ලේඛනයක දකින්නට නොමැත.

දළදා පූජාවලිය, දළදා සිරිත මෙන් ම සිව්වැනි පරාක්‍රමබාහු රජුගේ අවධියේ ලියැවුණක් වුව ද දළදා සිරිතෙහි දැක්වෙන රජු විසින් දළදා පූජා අරබයා පනවන ලද ව්‍යවස්ථා සංග්‍රහය මෙහි දකින්නට නො ලැබේ. එහෙත් ඒ රජු විසින් පනවන ලද එක්තරා නියමයක් ‘… අවුරුද්දෙහි ද කාර්තිකයෙහි ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට සියයට කාල අගයේ නවතොටින් පඬුරු පූජා ද සලස්වා…’ යනුවෙන් සඳහන් වේ. මෙය ද අගනා ඓතිහාසික තොරතුරකි.

දළදා පූජාවලිය ප්‍රමාණයෙන් කුඩා පොතකි. මුල් පෙළේ කෘතියක් නො වුණ ද මෙය මහත් පැසසුම් ලැබූවක් බව පෙනේ. මහනුවර යුගයේ මේ කෘතිය සපුරා ඇසුරු කොට ගෙන සිංහල දළදාවංශය ලියැවීමෙන් ම ඒ බව තහවුරු වේ.
–  ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ

පූජාවලිය භාගත කරගන්න

බාගතකර ගැනීම
IFBC Home Page