ඉතිහාසයේ අසිරිමත් ලේඛනය - මහාවංශය (The Mahavamsa - Great Chronicle History of Sri Lanka) - IFBC Organization | Download

අපේ ඉතිහාසය විමසා බලන්නන්ට පෙනෙන අපූර්ව සාහිත්‍යයකි වංශකථා. පාලි හා සකු සාහිත්‍ය ඇසුරෙන් මේ සාහිත්‍යාංගය අපට හිමි විය. රඝුවංශය වැනි සංස්කෘත වංශකථා මෙන්ම බුද්ධවංශ, අනාගතවංශ වැනි පාලි වංශකථා ඇසුරෙන් අපගේ වංශකථා සාහිත්‍යය බිහි වන්නට ඇතැයි සිතිය හැකිය.

ශ්‍රී ලංකාවේදී වංශකථා සාහිත්‍යය නව මගකට අවතීර්ණ වන්නේ පූජනීය වස්තු මූලාශ්‍රය කොට වංශකථා සාහිත්‍යයක් බිහි වීමෙනි. බෝධින් වහන්සේ හා දළදා වහන්සේ ඇතුළු පූජනීය වස්තූන් අපට ලද විට ඒවායෙහි පරම්පරාව ඉතිහාසය මතු නොව ඒවාට කළ යුතු පුද පූජා පිළිවෙළ ද ලියා තැබීමට අවශ්‍ය විය. එය නවතම සාහිත්‍යාංගයක් අපට එක් කිරීමකි. බෝධිවංශය, දළදා සිරිත, කේසධාතු වංශය, ථූපවංශය, ධාතු වංශය වැනි වටිනා කෘති එයින් අපට උරුම විය.

තවත් පසෙකින් වංශකතාව විකසිත වන්නේ පුද්ගලයන් වටා ද වංශ කථා ලියැවෙන්නට පෙලඹීමෙනි. දඹදෙණි කාලයෙහි පාලියෙන් ලියැවෙන හත්‍ථවනගල්ල විහාරවංශය එවැන්නකි. අත්තනගලු විහාරයේ වංශකථාව ලියනු අටියෙන් මේ කෘතිය රචිත වුව ද සැබවින්ම සිරිසඟබෝ චරිතයේ විශිෂ්ටත්වය කියාපෑම එහි අරමුණු විය.

මේ පූජනීය සහ පුද්ගල වංශකථා අතරෙහි දැයේ වංශකථාව රචිත මහාවංශයක් අපට හිමි වීම ලොව අන් කවර රටක්වත් නොලද භාග්‍යයකි. ක්‍රි. පූ. හයවන සියවසෙහි සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මේ මහාවංශයට ඇතුළත් ය. මහාවංශය ලියැවෙන්නේ පස්වන සියවසෙහි මහානාම නම් මහා විහාරයික භික්ෂුවක් අතිනි.

මහාවංශ කතුවරයා ග්‍රන්ථාරම්භයේ දක්වා ඇති පාඨයක් විමසා බැලීම මහාවංශයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරවයි. “පැරැන්නන් විසින් සම්පාදිත වූ එය ඇතැම් තැනෙක ඉතා විස්තර සහිතව ද තවත් තැනෙක ඉතා සංක්ෂිප්තව ද, ඇති අතර තවත් තැනක් පුනරුක්තයෙන් ගහන ය.

මේ දෝෂයන්ගෙන් මිදී අවබෝධ කර ගැනීමට හා ධාරණය කර ගැනීමට පහසු අන්දමින් පහන් සංවේගය ඇති කරවමින් රචිත මේ ග්‍රන්ථයේ මුඛ පරම්පරාවෙන් පැවත ආ පුරාවෘත්ත ඇතුළත් වේ.”

උක්ත උද්ධෘතය තුළ මහාවංශ කතුවරයා මහාවංශයට මුල් වූ කෘතියක් ගැන සඳහන් කරයි. එය එක් කෘතියක් නොව කෘති කිහිපයක් ද වන්නට ඇත. විශේෂයෙන් දීපවංශය නමැති කෘතියක් මේ වන විටත් සම්පාදිතව පැවතුණි. පස් වන සියවස දක්වා ලංකා ඉතිහාසයෙහි කරුණු සංක්ෂිප්තයක් දීපවංශයෙහි දැක්වෙයි. ලංකා ඉතිහාසය ලියන්නට ගත් පළමු ප්‍රයත්නය ලෙස දීපවංසය ඇගයේ.

මහානාම හිමියන් පස්වන සියවස දක්වා ලංකාවේ ඉතිහාසය ගොඩ නගද්දී දීපවංසාගත තොරතුරු ඉතා වැදගත් මූලාශ්‍රයක් කොට ගන්නට ඇතැයි සිතිය හැකිය. කරුණු ඉදිරිපත් කිරීමේ දුර්වලත්වය හේතුවෙන් දීපවංසයට මහාවංසය තරම් ශ්‍රේෂ්ඨ ස්ථානයක් වංශකථා සාහිත්‍යයේදී හමු නොවේ. එහෙත් මහාවංසාගත නොවූ ඇතැම් කරුණු ගවේෂණය කරන ඉතිහාසඥයෝ අදත් දීපවංශය ද සමීප කෘතියක් සේ භාවිත කරයි. මේ අනුව මහාවංශ කතුවරයා පළ කරන මුල් කෘති අතරත එක් කෘතියක් ලෙස දීපවංශය දැක්වීම නිවැරැදි ය.

මේ හැර මහාවංශයට මුල් වූ සිංහල කෘතියක් පිළිබඳව ද වංශකථාකරුවන්ගේ අවධානය යොමු වෙයි. එය වංසත්ථප්පකාසිනී නම් මහාවංස ටීකාවෙහි දැක්වෙයි. බුද්ධඝෝෂ අටුවාකරණයත් සමඟ පාලි බසෙහි මතු වූ ප්‍රබෝධය හේතුවෙන් මේ සිංහල වංස කථාව මගධියෙන් තබන්නට යෑම හේතුවෙන් පාලි මහාවංශයක් ලියැවෙන්නට ඇතැයි ද ඇතැමෙක් කල්පනා කරති. එපමණක් නොව බුද්ධඝෝෂ අටුවා කෘතීන් ද මහාවංශ කරුවාට මූලාශ්‍රය වන්නට ඇත.

විශේෂයෙන් “සීහලට්ඨ කතා” අටුවාවෙහි ඇතුළත් බොහෝ කරුණු මහාවංශකරුවා තම කෘතියට පාදක කරගන්නට ඇත. ඒ අනුව කතුවරයා පවසන ප්‍රධාන මූලාශ්‍ර තුනක් ඔස්සේ මහාවංශය සැකසෙන්නට ඇත. එනම් දීපවංශය, සිංහල වංස කතාව සහ සීහලට්ඨ කථා යන්නයි.

මහාවංශකරුවාගේ රචනා රීතිය කුමක් ද යන්න ආරම්භ පාඨයෙහි දැක්වූයේ මූලාශ්‍ර ග්‍රන්ථයන්හි පැවති සංක්ෂිප්ත අවස්ථා විස්තර කරමින් ද, විස්තරාත්මක අවස්ථා සංක්ෂිප්ත කරමින් ද, පුනරුක්තයන් බැහැර කරමින් ද කළ බවයි. විශේෂයෙන් සංක්ෂිප්ත කරණයේ දී ඉතා වැදගත් පාරම්පරික ඥාන සම්භාරයක් අපට අහිමි වූවාට සැක නැත. කෙසේ වෙතත් මහාවංශය යනු මූලාශ්‍ර ග්‍රන්ථවල පදානුපදික පරිවර්තනයක් නොව ඉතාම ස්වාධීන රචනා රීතියකින් වැඩුණු සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස ඇගයීමට ලක් කළ හැකිය.

මහාවංශ කතුවරයා මහාවිහාරික භික්ෂුවක ලෙස ථෙරවාදයේ මුරදේවතාවකු වී සිටියා ය යන්න අවිවාදිත ය. මූලාශ්‍රයන්හි සැකෙවින් විවරණය වූ දුටුගැමුණු චරිතය මහාවංශ කතුවරයා පරිච්ඡේද ගණනාවකින් විවරණය කරන්නේ ද ඒ නිසා විය යුතුය. මහාවංශ කතුවරයා මේ වංශකථාව රචනා කරන්නේ “පහන් සංවේගය හා හුදී ජන ප්‍රසාදය පිණිස ය” කර්තෘ බෞද්ධ භික්ෂුවක් වූ හෙයින් එවැනි අදහසක පිහිටියා වන්නට ඇත. රජවරුන්ගේ බලපරාක්‍රමය ආදිය උසස් ලෙස වර්ණනා කළ ද අවසානයේ සියල්ලන් මරුගේ වසඟයට ගිය බව දක්වන්නේ උක්ත අදහසෙහි පිහිටා විය යුතුය.

ආශ්චර්යවත් කථා පුවත්වලින් මහාවංශය පිරී පැවතිය ද කතුවරයාගේ වැඩිම අවධානය යොමු වී ඇත්තේ ලංකා ඉතිහාසය වාර්තා කර තැබීම කෙරෙහි ය.

විශේෂයෙන් රජ කෙනෙකුගේ පාලන කාලය තුළ බුද්ධාගමේ දියුණුව පිණිස කළ පුණ්‍යක්‍රියා මෙහි වාර්තා කෙරිණි. මීට හේතුව ආගම මනුෂ්‍ය ජීවිතයේ ප්‍රබල අංගයක් ව පැවතීම නිසා විය යුතුය. තත්කාලීන දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධයෙන් වන සියල්ල වාර්තා කර තබන්නට කතුවරයා එතරම් උත්සුක වූ බවක් නොපෙනේ.

ඇතැම් කල්පිත මත ඉවත ලා ඉතා පරීක්ෂාවෙන් බැලු විට මහාවංශය ලංකාවේ ඉතිහාසය පිළිබඳ විවරණය කෙරෙන විශ්වසනීය මූලාශ්‍රය ලෙස විද්වත්හු පිළිගනිති. විශේෂයෙන් ශිලා ලේඛනගත කරුණුවල සත්‍ය අසත්‍ය බව නිශ්චය කර ගැනීමට මහාවංශය ප්‍රබල සාධකයක් ව පවතී. එමෙන් ම ශිලා ලේඛනගත රාජ පරම්පරා නීර්ණය කර ගැනීමට මහාවංශය මග පෙන්වයි.

බොහෝ විට ශිලා ලේඛනමය කරුණු හා මහාවංශයේ තොරතුරුවල සාම්‍යයක් පවතී. මේ නිසා මහාවංශයේ ඓතිහාසික අගය බොහෝ පඬිවරුන්ගේ අවධානයට යොමු විය. ජෝර්ජ් ටර්නර්, හර්මන් ඕල්ඩෙන්බර්ග්, විල්හෙල්ම් ගයිගර්, වැනි බටහිර උගතුන් මෙන්ම ආනන්ද ගුරුගේ වැනි දේශීය උගතුන් ද ඒ අතර විශේෂයෙන් දැක්වෙයි.

ක්‍රි. ව. පස්වන සියවසේ ලියැවෙන්නට ආරම්භ කළ මහාවංශය මේ දක්වා අඛණ්ඩ ව රචනා වීම ද විශේෂ කරුණකි. එය ආරම්භයේ සිට 1978 දක්වා කොටස් පහකින් රචනා කොට තිබෙයි. පළමු කොටස ආරම්භයේ සිට ක්‍රි. ව. 301 දක්වා ද එතැන් සිට 1815 දක්වා දෙවන කොටස ද 1815 සිට 1936 දක්වා තෙවන කොටස ද, 1936 සිට 1956 දක්වා හතර වන කොටස ද, 1956 සිට 1978 දක්වා පස්වන කොටස ද ලෙසින් ඉතිහාසය රචනා කර තිබෙයි. එහි හයවන කොටස 1978 සිට 2010 දක්වා වර්තමානයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලේඛනගත වෙයි.

මහාචාර්ය විමල් බලගල්ල හා මහාචාර්ය මාලනී ඇඳගම දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ ලේඛක මඩුල්ලක් විසින් මේ කාර්යය මේ වසරේදී නිමාවට පත් කෙරෙනු ඇත.

සිංහල ඉතිහාසයේ අසිරිමත් වංශකථාව, මහාවංශය දැයට උතුම් ආභරණයකි.

මහාවංශය භාගතකරගන්න

බාගතකර ගැනීම
IFBC Home Page